ගම්මන්පිල ගෙන් යළිත් අභියෝගයක්

ගම්මන්පිල ගෙන් යළිත් අභියෝගයක්

October 20, 2024   11:20 am

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 

අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලඝනය කරමින් හෙට උදෑසන වනවිටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා."

 

"අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කළයුතු යැයි ප්‍රකාශ කරද්දි ඊට සම්පූර්ණ සහාය පළ කළ සිරිල් ගාමිණි පියතුමන් මේ අවස්ථාවේ දී මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම ගැන බියට පත්වුණේ එතුමන්ලා සමාජය ඇත්ත දැනගන්නවාට බයවෙලා ද? එ් වගේම මාලිමාවේ සගයන් සමග එතුමාත් කතෝලික ජනතාව රැවැට්ටුවාද කියන සැකය මතුවෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමේ අවදානම ගැන අධ්‍යනය කළා. එතුමන්ලා තර්ජනය කරන තරමින්ම වසර 14ක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තියෙනවා. අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඒ අවදානම ගන්නවා." 

"අර ඉම්රාන් ඛාන් පකිස්තානයේ සිරමැදිරියේ සිට මැතිවරණය AI තාක්ෂණය ඔස්සේ මෙහෙය වූ ආකාරයෙන්ම නවීණ තාක්ෂණය භාවිතා කරලා මේ වාර්තාව මම සිරගෙදර සිටියත් එළිදැක්වීමට මම සියලු විධිවිදාන සූදානම් කරලයි තියෙන්නේ."