පාකිස්තාන දඟ පන්දුවට එංගලන්තය අසරණ වෙයි

පාකිස්තාන දඟ පන්දුවට එංගලන්තය අසරණ වෙයි

October 18, 2024   03:47 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 152ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම අද (18) සමත් විය.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට පාකිස්තානයට හැකිවිය.

මුල්ටාන්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තනය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 366ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස එංගලන්තයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 291ක් පමණි.

ලකුණු 75ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානය ලකුණු 221කට සීමාකිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හිමිවුවත්, සියලු දෙනා දැවී ඔවුන් රැස්කළේ ලකුණු 144ක් පමණි.

සමස්ත තරගයේදී පාකිස්තානය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන්නන් වන සජිඩ් ඛාන් කඩුලු 09ක් හා නොමාන් අලි කඩුලු 11ක් බිඳ දැමීමට සමත් වූහ.

තරගයේ වීරයා සම්මානය සජිඩ් ඛාන් විසින් දිනාගත්තේය.