වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය
October 15, 2024 12:02 pm
ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පැහැදිලි කිරීමක් කළේය.
අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.
එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවය.
"වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ. අපි බලයට පත්වුණාට පස්සේ තීරුබදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ. නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව... අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරීම සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් අපේ බල පාලනය ඇතුළේ අලුතෙන් ගත් තීරණ විදිහට අපි ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් වාහන ගෙන්වීම පිළිබඳව අපි ඒ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා."
