ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
September 27, 2024 03:29 pm
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරුවන් අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගී වී සිටියදී පසුගිය ජූලි මස 8 වැනි දින ඔහු වෙඩි තබා ඝාතනය කෙරිණි.
වෙඩි තැබීමෙන් තවත් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පස් දෙනෙකුට තුවාල සිදුවිය.
ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවාද විය.
පොලීසිය සිදුකළ විමර්ශණයේදී ඝාතනය සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කරුණු රැසක් හෙළි විය.
ඔවුන්ගෙන් අයෙක් 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් 'පොඩි බලයා' සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් 'බහිරවයා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයන් ය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනයකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහී සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවයි.
අනතුරුව KPI ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී. 56 ගිනි අවි දෙකක් පසුදින උදෑසන නිවසට පැමිණි අයෙකු වෙඩික්කරුවන් වෙත ලබාදී ඝාතනය කළ යුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන් වූ බවද පවසා තිබේ.
ඒ අනුව ඔවුන් ටැටූ මධ්‍යස්ථානය වෙත පැමිණ ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවත් කේ. සුජීවා ගේ සැමියා ක්ලබ් වසන්තගේ ආරක්ෂකයෙකු යැයි සිතා ඔහුටද වෙඩි තැබූ බවත් පොලීසිය හමුවේ පවසා තිබේ.
පසුව ඔවුන් මොටර් රථයෙන් පැමිණ වෑන් රථයකට නැග කඩවතට ගොස් එහි සිට මාතර දක්වා බස් රථයකින් පළාගොස් තිබේ.
මාතරදී ඔවුන් කතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී 'ලොකු පැටී' යන අය විසින් දුරකථනයෙන් අමතා තමන්ට සුබ පැතූ බවත් ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබේ.
මාතරදී ඔවුන් වෙන්වී ගොස් ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට තිබේ.
එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නැමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසට ඩුබායි සිට උපදෙස් ලැබුණු බවද ඔවුන් පොලීසිය හමුවේ අනාවරණ කර තිබුණි.
දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවිතය සඳහා දුරකථනයක් ද ලබාදී තිබුණි.
ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය.
එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ 'කංජිපානි ඉම්රාන්' පැවසූ බව සඳහන් කරමින් 'ජූඩ්' නැමැත්තෙකු තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී පුද්ගලයන් දෙදෙනෙකුව තමන් වෙත එවා ආරක්ෂාව සපයන ලෙස පැවසූ බවය.