දිරිය දරුවෙක් ඔබෙන් සවියක් ඉල්ලයි

දිරිය දරුවෙක් ඔබෙන් සවියක් ඉල්ලයි

September 25, 2024   05:02 pm

නිරෝගීව උපත ලබන දරුවෙකු අනපේක්ෂිත ලෙස රෝද පුටුවකට සීමා වුණු කනගාටුදායක පුවතක් වැලිඹය ඇහැටුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය. 

15 හැවිරිදි සිතුම් ආලෝක මෙලෙස රෝද පුටුවකට කොටුවී මේ වන විට වසර 8කි. 

ආලෝක, වයස අවුරුදු 7දී මාංශපේෂි දියවීමේ රෝගී තත්ත්වයකට ගොදුරුවීමත් සමග ඔහුට ඇවිදීමට නොහැකි විය. 

ඉගෙනුමට ඇති උපන් හපන්කම් නිසාම සෑම දිනකම කිලෝමීටර්යක් පමණ දුරක් රෝද පුටුව තල්ලු කරගෙන ආලෝක පාසලට රැගෙනයාමේ වගකීම මව ඉටුකරන්නේ වෙහෙස නොබලමිනි.

කෙදිනක හෝ සිය පුතු දෙපයින් නැගී සිටිනු ඇතැයි දිවා රෑ දෙකෙහිම සිතන ආලෝකගේ මව, ඒ වනවිට ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ සිහින දකිමින් සිටී.

අනතුරක් හේතුවෙන් ඇවිදීමට නොහැකිවී සිටින ආලෝකගේ පියාට පවුලේ ආර්ථිකයට සවියක් වීමට ද නොහැකිය. 

මෙවන් විශාල ගැටලු මැද දරුවන් දෙදෙනා සහ සැමියා ජීවත්කරවීම ආලෝකගේ මවට අද අභියෝගයකි. 

දෙපයින් නැගී සිටීමට නොහැකිවුවත් සිතුවිලිවලින් සවිමත් ආලෝක පුතු ඔබෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට පාසල් යාමට පහසුකර ගැනීම සඳහා විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට හැකි කෙනෙක් සිටි නම් එය තමන්ට මහත් ශක්තියක් වනු ඇති බවය. 

සිතුම් ආලෝක,

"රෝද පුටුව තල්ලු කරගෙන මාව ඉස්කෝලේ ගෙනියද්දී අම්මට ගොඩක් මහන්සියි. ඒ මහන්සිය නැති වෙන්න මට විදුලි රෝද පුටුවක් දෙන්න."

පරිත්‍යාගශිලි කෙනෙකු වේ නම්  076 - 674 5349 දුරකථන අංකය හරහා අලෝකගේ මව හා සම්බන්ධ විය හැකිය.