කුරුණෑගල මාරක බස් අනතුරේ ICU ලෙඩ්ඩු තවත් ඉහළට

කුරුණෑගල මාරක බස් අනතුරේ ICU ලෙඩ්ඩු තවත් ඉහළට

February 11, 2025   10:56 am

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

අප කළ විමසීමක දී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවය.

මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (10) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් සිව්දෙනෙකු තත්ත්වය බරපතළ බව වාර්තා වුණි.

රිය අනතුර සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය.

මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී තිබුණි.

එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පැවසීය.

මගීන් නංවා ගනිමින් තිබූ බස් රථය, අනෙක් බස් රථය ගැටීමේදී ඒ අසල ගෙවත්තකට ඇදී ගොස් එහි ගසක වැදී තිබුණි.

කඩිනමින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් වහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.