මැද පෙරදිග යුද බිය පැතිරෙයි
August 1, 2024 09:50 am
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගියේය.
ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්රහාරයකිනි.
මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, ලෙබනනයේ ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානුවන්ට උපදෙස් දී ඇත්තේ ලෙබනනයට සිදුකරන අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලින් වළකින ලෙසය.
එමෙන්ම බේරූට්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධතා පවත්වන ලෙසත් ඔවුන්ට උපදෙස් නිකුත් කර තිබේ.
එමෙන්ම තොරතුරු ලබාදිය හැකි විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංකයක් ද තානාපති කාර්යාලය විසින් ඉන්දියානුවන් වෙත ලබාදී ඇත.