ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වැඩි බලයක් දෙන්න යයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වැඩි බලයක් දෙන්න යයි

July 10, 2024   02:52 pm

ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත්  වාහන සඳහා ද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවය.

"අපි ඉතාම බරපතළ ලෙස පිළිගන්නවා ත්‍රීරෝද රථ විශාල මහජන සේවාවක් කරනවා. එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම ජාතික ගමනාගමන කොමිෂන් පනත සම්පුර්ණයෙන් සංශෝධනය කරලා... දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුම්පතට නිෂ්කාසනය ලැබිලා තියෙනවා."

"ඒ කියන්නේ, දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ හා අනෙකුත් වාහන සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කිරීමට අවසර ලැබෙන පිරිදි පනත සංශෝධනය කරලා...නිෂ්කාසන ලබාගෙන තියෙනවා. ඉතා නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා."

මේ හරහා මීටරයක් සවි කිරීම, රිසිට් පතක් ඉල්ලා සිටියහොත් එය නිකුත් කිරීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා."