දැඩි පොලිස් ආරක්ෂාව මැද නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ භාරගනී

දැඩි පොලිස් ආරක්ෂාව මැද නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ භාරගනී

July 2, 2025   02:04 pm

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද  (02) එම ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

වැඩ භාරගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සමග ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක නිරත වී ති‌‌‌බේ.

මාධ්‍යට අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවය.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බවද ඔහු සඳහන් කර සිටියේය.

කෙ‌සේ වෙතත් සභාපතිවරයා වැඩ භාරගන්නා අවස්ථාවේ, ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානම්ව ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.