චීනයට නිරුවත විකුණූ ජාවාරම උකුස්සා ට කොටුවෙයි

චීනයට නිරුවත විකුණූ ජාවාරම උකුස්සා ට කොටුවෙයි

June 17, 2024   07:38 pm

නීතියෙන් රිංගා වංචනික ක්‍රියා සිදුකරන්නන් හඹායන "අද දෙරණ" උකුස්සා ඒ සියල්ල රට හමුවේ අනාවරණ කරන්නේ එවැනි වංචනික, අනීතික ක්‍රියාවලින් මහජනයා ආරක්ෂා කරගැනීමටයි.

දැවැන්ත සමාජ පරිහානියකට තුඩු දෙන ජුගුප්සාජනක ජාවාරමක් අප රට හමුවේ අද අනාවරණ කරන්නේ මෙරට තරුණ ප්‍රජාව සහ දරුවන් මෙවැනි දෙයට පෙළඹවීම වැළැක්වීමේ අරමුණින්. 

මේ ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් උපයන ජාවාරමක් ගැනය.

මේ පිළිබඳ හෝඩුවාව ලද වහාම මෙම ජාවාරම්කරුවන් සොයා "අද දෙරණ" උකුස්සා පිළියන්දල, බටකැත්තර කොන්ගහවත්ත ප්‍රදේශ බලා පිටත්වුණි.

ඒ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා සහ එම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද සමඟින්.

අප එම නිවසට ළඟාවන විටත් ඒ තුළ ලිංගික ක්‍රියාකාරකමක නිරතව සිටි යුවළක් සහ තවත් යුවළක් නීතියේ රැහැනට හසුකරගැනීමට "අද දෙරණ" උකුස්සා ඇතුළු කණ්ඩායමට හැකිවුණි.

මෙහි ප්‍රධාන සැකකරුවන් කාන්තාවන් දෙදෙනෙකි සහ පුරුෂයන් දෙදෙනෙකි.

ඔවුන් මීට වසර කිහිපයකට පෙර මෙම නිවස කුලී පදනමට ගෙන ඇත්තේ තමන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ව්‍යාපාර කරන බව ගෙහිමියාට පවසමිනි.

නමුත් සැබැවින්ම එහි සිදුව ඇත්තේ මොවුන් විවිධ ලිංගික ක්‍රියාකාරකම් නිවස තුළ සිදුකර ඒවා සජීවීව අන්තර්ජාලය ඔස්සේ චීන සමාගමකට මුදාහැර මුදල් උපයාගැනීමයි.

සැකකරුවන්, ෆේස්බුක් ඔස්සේ මෙම චීන සමාගම හඳුනාගෙන ඇති අතර පසුව ඒ සඳහාම භාවිත කරන යෙදවුමක් හරහා මෙම දර්ශන සජීවිව මුදා හැර තිබේ.

සැකකරුවන් සතියකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් උපයාගෙන ඇති බව පොලීසියට පවසා ඇත.

සැබෑ මුහුණු වැසෙන සේ වෙස් මුහුණු පැලඳ ඔවුන් එම රූගතකිරීම් සිදුකර තිබේ.

මෙම ලිංගික ක්‍රියාකරකම් අන්තර්ජාලයට මුදාහැරීමේදී සැකකරුවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ද චීන සමාගම ඔවුන්ට ලබාදී තිබිණි.

නිවස පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ස්වයං වින්දන උපකරණ, රූගත කිරීම් සඳහා යොදාගන්නා උපකරණ, පටිගත කරන ලද ලිංගික දර්ශන ඇතුළත් ජංගම දුරකථන කිහිපයක් ද පොලීසිය භාරයට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාම වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් වන අතර ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය දර්ශන නිෂ්පාදනය හා මුදා හැරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතියෙන් රිංගා සමාජය පිරිහීමට ලක්කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකර දීමට "අද දෙරණ" උකුස්සා සීරුවෙනි.