වසර ගණනකට පසුව හෙළිවූ තිදරු මවගේ අභිරහස
May 14, 2024 07:41 pm
ගාල්ල තවලම ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණය කරගැනිමට "ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය" සමත්වුණි.
එහිදී අනාවරණ වී තිබුණේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් ඇය ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවය.
ඒ අනුව මීට වසර හතරකට පෙර ඝාතනය කෙරුණු විසිනව හැවිරිදි තිදරු මවකගේ මෘතදේහය ගාල්ල තවලම හල්ලකන්ද ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වැසිකිලි වලක සඟවා තිබියදී ගොඩගෙන තිබුණි.
නිලූෂිකා සඳමාලි නම්වූ ඇය 2020 වසරේ ජූනි මස 6 වනදා සිට අතුරුදන්ව තිබූ අතර ඇයගේ මව විසින් ඒ සම්බන්ධයෙන් එවක පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර තිබුණි.
සිය පළමු විවාහයෙන් වෙන්වූ නිලූෂිකා සිය දරුවන් දෙදෙනාද සමඟ "බතල ශාන්ත" නමැත්තෙකු සමඟ දිවිගෙවමින් සිට ඇති අතර, ඔහුට දාව එක් පුතෙකුද ඇයට සිට තිබුණි.
මෙම තිදරු මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය එවකට විමර්ශන සිදුකළද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකිවිය.
සිද්ධිය සම්බන්ධ විමර්ශන ගාල්ල කොට්ඨාස අපරාධ අංශය වෙත යොමුකෙරෙන්නේ එවන් පසුබිමකය.
ඒ අනුව වසර හතරක් මුළුල්ලේ විමර්ශන සිදුකළ පොලීසිය අතුරුදන් කාන්තාවගේ අනියම් සැමියා වන "බතල ශාන්ත" හෙවත් හේනගොඩගේ ශාන්ත නැමැති 44 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින් ඇයට පහරදී ඝාතනය කර, සිරුර නිවස අසල වැසිකිලි වළක සැඟවූ බවටය.
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට පහරදුන් "බතල ශාන්ත" නමැත්තා ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට සහභාගී වී සිට ඇති අතර, එහිදී දරුවන් පැමිණ මව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඔහු දැනුම්දී ඇති බව අනාවරණ වී තිබේ.
ඒ වනවිට බීමතින් සිටි බතල ශාන්ත නිවසට පැමිණ යළි බිරිඳට පහරදී ඇති අතර, පසුදින උදෑසන ඇයගේ සිරුර සීතල වී තිබීම හේතුවෙන් එය ඇඳ ඇතිරිල්ලක ඔතා වැසිකිලි වළකට දමා ඇතැයි පොලීසිය පවසයි.
පසුව ඔහු සැක නොසිතෙන අයුරින් බිරිඳගේ නිවසට ද ගොස් ඇය පිළිබඳව විමසා ඇති බව පොලීසිය පවසයි.
ගොඩගැනුණු මෘතදේහය නිලූශිකාගේ බවට දරුවන් හා ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
එම අවස්ථාවේදී ඇය පැළඳ සිටි කරාඹුවක්ද හමුවුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.