රටපුරා අවුරුදු සමරයි

රටපුරා අවුරුදු සමරයි

April 14, 2024   08:37 am

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා යි ඔබට සැමට අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ අපි ප්‍රාර්ථනා කරමු.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් අලුත් අවුරුදු උදාව ඊයේ (13) අපරභාග 09.05ට සිදු විය.

ආහාර පිසීමේ නැකැත රාත්‍රී 11.06ට යෙදී තිබූ අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තල්, උක් හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි බව අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන්ව තිබුණි.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය ඊයේ මධ්‍යම රාත්‍රී 12.06ට යෙදී තිබූ අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බව නැකැත් පත්‍රයේ සඳහන් විය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත හෙට (15) දිනයට යෙදී ඇති අතර එය හෙට පූර්ව භාග 10.17ට යෙදී තිබේ.

ශ්වේත්‍ර වර්ණ හෙවත් සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.

මෙවර අලුත් අවුරුදු උදාව ඉතා උද්යෝගයෙන් සිංහල හා දෙමළ ජනතාව ඊයේ දිනයේ සමරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා අවුරුදු උත්සව ඇතුළු සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් පැරණි සිරිත් විරිත්වලට අනුකූලව මෙම අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

දෙරණ ඩයලොග් මාගම්පුර සූර්ය මංගල්‍යය ද අද දවස පුරා තිස්සමහාරාම වීරවිල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ජනක්‍රීඩා රැසකින් සහ රාත්‍රියේ සංගීත ප්‍රසංගයකින් හැඩවන මෙම බක්මහ උළෙල ටීවී දෙරණ ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව ද ඔබට හිමි වේ.

මේ අතර අවුරුදු උත්සව සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

ඒ සදහා පොලීසියට අමතරව විශේෂ කාර්ය බළකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.