සීමාවන් නොමැති බව රුසියාව සහ චීනය යළිත් මතක් කරයි
සයුරෙන් එතෙර

සීමාවන් නොමැති බව රුසියාව සහ චීනය යළිත් මතක් කරයි

April 9, 2024   05:14 pm

සදා ශක්තිමත් වන සිය ද්විපාර්ශ්වික සබඳතාවල කොටසක් ලෙස ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රුසියාව සහ චීනය අඛණ්ඩව පියවර ගන්නා බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් පවසයි.

මේ ප්‍රකාශයේ වැදගත්කම වන්නේ ඔහු මේ ප්‍රකාශය සිදුකළේ චීනයේ බීජිං නුවරදී වීමය.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මුණගැසීමෙන් පසු ඔහු ත්‍රස්තවාදයට එරෙහි රුසියානු සටනට චීනයෙන් ලැබෙන සහාය පිළිබඳවත් ස්තූතිය පළ කර ඇත. 

පසුගිය මාර්තු 22 වනදා මොස්කව් නුවරට තදාසන්න රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේදී මුලින්ම රුසියාවට සහාය පළ කළ, ඒ පිළිබඳ කනගාටුව පළ කළ චීනය යි. 

එම ප්‍රහාරයෙන් රුසියානුවන් 144 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි වුවත් රුසියාව, එම ප්‍රහාරය සඳහා යුක්‍රේනයේ සම්බන්ධයක් ඇති බවට විශ්වාස කරයි. 

බීජිං නුවරදී රුසියානු විදේශ අමාත්‍ය ලැවරොෆ් වැඩිදුරටත් සඳහන් කළේ බහුපාර්ශ්වික ආයතන ඇතුළු සියලු යාන්ත්‍රණයන් තුළ ත්‍රස්තවාදයට එරෙහි රුසියානු - චීන සහයෝගීතාව දිගටම පවත්වා ගන්නා බවය.

රුසියානු හමුදාවල යුක්‍රේන ආක්‍රමණය නැත්නම් ඔවුන් හඳුන්වන පරිදි විශේෂ හමුදා මෙහෙයුම 2022 වසරේ පෙබරවාරියේ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක නිරත වුණි. 

එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ ඔහු ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළේය. 

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ රුසියානු - චීන සහයෝගීතාවට සීමාවන් නොමැති බවය.

ජනාධිපති පුටින් දැන් තවත් ජනාධිපති ධුර කාලයක් සඳහා තේරී පත්වීමත් සමග රුසියානු - චීන සබඳතාවලට අතිරේක වගවීම් සහතිකයක් ලැබී ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවලදී ආසියා - පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ යුක්‍රේන යුද්ධය වැනි උණුසුම් මාතෘකා ආවරණය කළ බවත් රුසියාව පවසයි.

එමෙන්ම මෙම හමුව මැයි මාසයට යෙදී ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ බිජිං සංචාරයේ පෙරගමනක් ලෙසත් ඇතැම් විචාරකයින් හඳුන්වයි. 

මේ අතර චීනය සහ ඉන්දියාව අතර මතභේදයට තුඩුදී ඇති කිලෝමීටර් 3,000ක් පමණ දේශසීමා ප්‍රදේශය නැතහොත් පාලන රේඛාව ලෙස නිල වශයෙන් හැඳින්වෙන ප්‍රදේශ සඳහා චීනය නම් 30 කින් සැදුම්ලත් නව ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම අමෙරිකාවේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එය භෞමික හිමිකම් යළි තහවුරු කිරීමේ චීනයේ තවත් ඒකපාර්ශ්වික උත්සාහයක් බව අමෙරිකාව පෙන්වා දෙන බවය.

ඒ අනුව චීනයේ ඕනෑම ඒකපාර්ශ්වික උත්සාහයකට අමෙරිකාව දැඩි ලෙස විරුද්ධ බවද පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඉන්දියාව විසින් පාලනය කෙරෙන අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳු, ගංගා, නේවාසික ප්‍රදේශ ඇතුළුව, ටිබෙට් ස්වාධීන කලාපයේ කොටසකට චීනය එලෙස නම් ලැයිස්තුවක් සකසා ඇති බවද වාර්තා වෙයි.