හරක්කටාගේ මස්සිනා සතු දේපළ ගැන විමර්ශන

හරක්කටාගේ මස්සිනා සතු දේපළ ගැන විමර්ශන

March 23, 2024   03:23 pm

නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන ගයාන් ධනුෂ්ක නම් පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් ඉඩමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් තහනම් කර තිබේ.

එම පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදුකරයි.

එහිදී අනාවරණ වී ඇත්තේ, නුගේගොඩ පිහිටි රුපියල් කෝටි එකහමාරක පමණ ඉඩමක් ඔහු සතුව ඇති බවය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ ඉඩම තහනම් කර තිබේ.

ඒ අතරතුරදී ඔහුට ඇප ලැබීම හේතුවෙන් සැකකරු ජපානයට පළාගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

මේ අතර වෙලේ සුදාගේ සමීපතමයන් දෙදෙනෙකුට අධිකරණය වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ නීතිවිරෝධීව උපයාගත් මුදලින් ලබාගත් සුඛෝපබෝගී වෑන් රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විර්ශනයකින් අනතුරුවය.

පසුව එම සුඛෝපභෝගී වෑන් රථ දෙකක්ද ඊයේ (23) අධිකරණය මගින් රාජසන්තක කර තිබුණි.

මේ අතර පාතාලය මර්දන මෙහෙයුමේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 11ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපරාධකරුවන් සංඛ්‍යාව 37කි.