මෙහෙමත් සීනි කෑමක්... දත් ඉතුරු වෙයි ද?
March 21, 2024 01:40 pm
දත් දිරායෑම අද වනවිට ලෝකයේ වැඩිම ජනතාවක් මුහුණදෙන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවයි.
ලෝක ජනගහණයෙන් බිලියන 3.5ක් දත් දිරායෑමේ රෝගී තත්ත්යට මුහුණ පා ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උපලේකම් ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි.
ඊයේ (20) දිනට යෙදී තිබූ ලෝක දන්ත සෞඛ්‍ය දිනය වෙනුවෙන් 'සතුටු මුවයි - සුවැති සිරුරයි' යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සියලු දන්ත රෝග වළක්වා ගත හැකි බවත්, එය බහුල විය යුතු නොවන බවත් පැවසු වෛද්‍යවරයා, දත් දිරා යෑමට බලපාන මුලික කරුණු වන්නේ අධික සීනි භාවිතය, දත් නොමැදීම හා ෆ්ලොරයිඩ් සහිත දන්තා ලේප භාවිත නොකිරීම බව පැවසීය.
"මේ තුනම අපිට වළක්වා ගන්න පුළුවන් නේ. සීනි අඩු කරන්න පුළුවන්. නිසි ලෙස දවසට දෙසැරයක් දත් මදින්න පුළුවන්. ෆ්ලොරයිඩ් සහිත දන්තා ලේප භාවිතා කරන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ අපි සීනි අඩුවෙන් භාවත කරනවා ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමා පුද්ගලයෙකුට නිරෝගීව ඉන්න නම් වසරකට ආහාරයට ගත හැක්කේ සීනි කිලෝ 10ක් විතරයි. නැත්නම් ඊට අඩුවෙන්. නමුත් ලංකාවේ එක් පුද්ගලයෙක් අවුරුද්දකට දළ වශයෙන් සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වගේ අපි තුන් ගුණයක් සීනි භාවිත කරනවා. අපි වැඩියෙන් සීනි භාවිත කරන ජාතියක්. සීනි පරිභෝජනය අඩු කළොත් දත් දිරා යෑම අඩුවෙනවා."