හරක් කටා තංගල්ලට
March 11, 2024 07:49 pm
දින 362ක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැකකෙරෙන වන නඳුන් චින්තක නොහොත් "හරක් කටා" සහ සළිඳු මල්ශික හෙවත් කුඩු සළිඳු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ රැඳවුම් නියෝග අවසන් වීම හේතුවෙනි.
එහිදී හරක් කටා තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක හෙවත් "හරක් කටා" ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මාසයේ දීය.
නමුත් සැකකරු මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලිසිය විසින් පසුව හරක් කටා මුදාහරිනු ලැබීය.
පසුව 2023 මාර්තු 7 වනදා මැඩගස්කරයේ දී "හරක් කටා" සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර 2023 මාර්තු 15 වනදා ඔවුන්ව දිවයිනට රැගෙන එන ලදි.
එතැන් සිට ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ තබාගනිමින් ප්‍රශ්න කෙරුණි.
එලෙස CIDය භාරයේ සිටියදී හරක් කටා ඉන් පැනයාමටද උත්සාහ කර තිබූ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත්විය.
වසරකට ආසන්න කාලයකට පසු, රැඳවුම් නියෝග අවසන් වූ " හරක් කටා" සහ "කුඩු සළිඳු" කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණී.
පසුව සැකකරුවන් දෙදෙනා නීති කෘත්‍ය සඳහා අදාළ අධිකරණ වෙත රැගෙන යනු ලැබීය.
හරක් කටා හෙවත් නදුන් චින්තක පළමුව ඉදිරිපත් කෙරුණේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ය.
ඒ අනුව දැඩි ආරක්ෂක රැකවල් මැද හරක් කටා සහ ඔහුට CIDයෙන් පැනයාමේ සැලසුමට ආධාර අනුබලදීමට චෝදනා ලැබ රැදවුම්භාරයේ සිටි දිනේෂ් සුරංග නැමැත්තා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ මහාධිකරණය වෙත රැගෙන යනු ලැබුණි.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවූ අතර රැඳවුම් භාරයේ සිටියදී CID යෙන් පැනයාමට උත්සාහ කිරීමට අදාළව හරක් කටාට සහ ඔහුට ආධාර අනුබල දුන් දිනේෂ් සුරංග නැමැත්තාට අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
පසුව පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා විවෘත අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
"ස්වාමිනි, නඳුන් චින්තක හෙවත් "හරක් කටා" රැඳවුම් භාරයේ සිටියදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර නීතියේ රැහැනින් පළායාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තමයි මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර තිබෙන්නේ. එහිදී මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින්ට පහරදී තිබෙනවා. පළමු උත්සාහය ව්‍යර්ථ වූ පසු පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ යොදා ගනිමින් ඔහු දෙවන වරටත් පළායාමට උත්සාහ කර තිබෙනවා."
එමෙන්ම රජයේ නීතිඥවරයා එහිදී තවත් කරුණු දැක්වීමක් සිදුකළේය.
"ස්වාමිනි මෙම අධිචෝදනා පත්‍රයේ ඇති චෝදනා 22ක්ම ගොනුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඔස්සේයි. ඒ අනුව පනතේ 15 (2) වගන්තිය ප්‍රකාරව මා ඉල්ලා සිටිනවා හරක් කටා නමින් හඳුන්වන මොහු නඩු විභාගය අවසන් වනතුරු සිරභාරයේ තබන්න කියලා.එමෙන්ම අදාළ පනත ප්‍රකාරව සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කරන අවස්ථාවක, සැකකරු රඳවා තබන ස්ථානය තීරණය කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට හිමිවනවා. ඒ අනුව මෙම සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා යටතේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා තබන ලෙසද මා ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා."
අනතුරුව සැකකාර නඳුන් චින්තක හෙවත් "හරක් කටා" වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් විවෘත අධිකරණයේ කරුණු දැක්වීය.
"ස්වාමිනි, මාගේ සේවාදායකයාට අද භාරදෙනු ලැබු අධිචෝදනා පත්‍රයේ ඇතුළත් චෝදනාත් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතට නොවැටෙන බවට වන මූලික විරෝධතාවයක් ඉදිරි නඩුවාරයේදි සිදුකිරීමට මා බලාපොරොත්තුවෙනවා. මාගේ සේවාදායකයාට බාහිර පුද්ගලයන්ගෙන් මෙන්ම පරිපාලන පුද්ගලයන්ගෙන්ද ජීවිත තර්ජන එල්ල වී ඇති බවට මේ වනවිටත් උපරිමාධිකරණයට කරුණු දක්වා තිබෙනවා. එබැවින් ඔහුට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඔහුට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය තහවුරු කරමින් නීතිඥ සහාය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත්, සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසන ලෙසත් මා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා".
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සැකකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අවසර ලබාදුන්නේය.
එසේම මෙහි තෙවන සැකකරු වන දිනේෂ් සුරංග නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළ විනිසුරුවරයා අධිකරණය මඟහැර සිටින රවිදු සංදීප නැමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.
හරක් කටාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවරගන්නා ලෙසද විනිසුරුවරයා විසින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවා.
නීති කෘත්‍යය අප්‍රේල් 26 යළි කැඳවීමට නියමිත ය.
ඒ අනුව නදුන් චින්තක හෙවත් හරක් කටා තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ රැගෙන යනු ලැබීය.
මේ අතර, රැඳවුම් නියෝග අවසන් වූ සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු ඉදිරිපත් කරනු ලැබුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඔහුව මරාදමන බවට සඳහන් කර ඇති බවත් ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් බවත් නීතිඥ ජාලිය සමරසිංහ මහතා පැවසීය.
කරුණු සලකා බැලූ පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා කුඩු සළිඳු ලබන මාර්තු 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටත් සුදුසු බන්ධනාගාරයක ඔහු රඳවාතැබීමටත් නියෝග කළේය.