ජනපතිගේ ආරාධනාව පිළිගත් පක්ෂ මෙන්න

ජනපතිගේ ආරාධනාව පිළිගත් පක්ෂ මෙන්න

March 10, 2024   03:00 pm

විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සහභාගී වීමට නියමිත බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග හෙට දිනයේ ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ සදහා අදාළ පක්ෂවලට නිල ආරධනයක් සිදුකර තිබුණ ද මේ වනවිට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඒ සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය අදාළ ආරාධනය පිළිගෙන ඇති අතර ඊට එම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගී කරවීමට තීරණය කර තිබේ.

සාකච්ඡාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ලබාදුන්න ද ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙයි.

පක්ෂය සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.