ක්‍රිකට් පිටියේ නම රැන්දූ අනුරුද්ධ පොළොන්නෝවිටට උපහාර

ක්‍රිකට් පිටියේ නම රැන්දූ අනුරුද්ධ පොළොන්නෝවිටට උපහාර

February 21, 2024   02:53 pm

අනුරුද්ධ පොළොන්නෝවිට මහතාට උපහාර පිදීමට සහ එතුමන්ට මෙවර සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ආරාධානා කිරීමට සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව කටයුතු කර තිබේ. 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ඔහු කලක් කටයුතු කළේය.

මෙම අවස්ථාවට සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන් වන උපාලි ධර්මදාස සහ එයාර් චීෆ් මර්ෂල් ගගන් බුලත්සිංහල ඇතුළු තවත් ආනන්ද නාලන්දා ආදි ශිෂ්‍ය පිරිසක් එක්විය.

අනුරුද්ධ පොළොන්නෝවිට මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස වසර 38ක කාලයක්‌ කටයුතු කරමින් අර්ජුන රණතුංග‍, මාවන් අතපත්තු වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ අතිදක්ෂ මෙන්ම සම්මානනීය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීමට දායක වූවෙකි.

ටෙස්ට් ලැබීමට පෙර පැවති සිලෝන් කණ්ඩායම නියෝජනය කළ පළමු ආනන්දියා වන්නේද ඔහුය.

එසේම සිලෝන් කණ්ඩායම පළමුවරට ඉන්දියාව හා පාකිස්තානය පරාජය කළ ඓතිහාසික තරඟ දෙකේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට පොළොන්නෝවිට මහතා සමත්වී තිබුණි.