පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට

පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට

January 28, 2024   08:06 am

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (27) එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

මීරිගම - පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම, ඊට ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී නැවත වම් පැත්තට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී ඇත.

පසු ව යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර, යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකාරිය ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යට වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියකි.

මේ අතර, පුලස්තිපුර - තඹාල - ලංකාපුර අතුරු මාර්ගයේ තඹාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ටිපර් රථය ඉදිරිපිට යතුරුපැදිය පෙරළී යාමෙන් එම අනතුර සිදු ව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ, අල්ගිලාල්පුර - තඹාල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

මේ අතර, බොරැල්ල - බේස්ලයින් මාර්ගයේ මවුන්ට් මෙරි හංදිය අසල දී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදු ව ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පසුපැදිකාරිය මිය ගොස් ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.