ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

May 2, 2024   07:55 am

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස උපුල් රෝහණ මහතා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

"තරු පන්තියේ හෝටල්වලට පවා දුරකථන ඇමතුම් දීලා කොට්ඨාසභාර මහජන පරීක්ෂකවරු ලෙස අඟවමින් මුදල් ඉල්ලා සිටිනවා. ඇතැම් ව්‍යාපාරිකයින් රැවටිලා මුදල් බැංකු ගත කළ අවස්ථා රැසක් තියෙනවා. මෑත කාලයේ විශාල පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට කියන්නේ දුරකථන ඇමතුමක් දීලා ඔබගේ ආහාර පරියන්ත ආයතනයට බලපත්‍ර ලබාදීමට, නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීමට හෝ එවැනි ඕනෑම කටයුත්තක් අනීතිකව සිදුකිරීමට මුදල් ඉල්ලා සිටී නම් ඔබ කළ යුත්තේ ළඟම පොලීසියට පැමිණිලි කරන්න."