දකුණු මුහුදේ හෙරොයින් වැටලීම ගැන තවත් තොරතුරු

දකුණු මුහුදේ හෙරොයින් වැටලීම ගැන තවත් තොරතුරු

January 20, 2024   06:15 pm

දකුණු මුහුදේ දී අද (20) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නාවික හමුදාව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ රුපියල් මිලියන 1,626 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 කට අධික තොගයක් එහි තිබූ බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ (කිලෝමීටර් 185 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබුණි.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 අධික තොගයක් උර 03ක බහා ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහාය වූ බවට සැකකෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් එකොළොස් දෙනා (11) සහ මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය අද දින (2024 ජනවාරි 20) උදෑසන මෙලෙස ඉදිරි නීතිමය කටයුතු සඳහා  ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 1626 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකරයි.