අබලන් වූ කොළඹ මහල් නිවාස ගැන දැනුම්දීමක්

අබලන් වූ කොළඹ මහල් නිවාස ගැන දැනුම්දීමක්

January 19, 2024   09:13 pm

කොළඹ මහනගර සභා සීමාවේ සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාස දැඩි ලෙස අබලන්ව පවතින බව අපි අද (19) නිරීක්ෂණය කළෙමු.

එම නගර සභාව ඊයේ (18) සඳහන් කළේ, එම ගොඩනැගිලි කඩා ඉවත්කර පදිංචිකරුවන්ට විකල්ප ස්ථාන ලබාදෙන බවය. 

කෙසේ වෙතත්, දැනටමත් නිවාස ලැබුණු ඇතැමුන් විවිධ හේතු දක්වමින් තවමත් එම ස්ථානවලින් ඉවත්ව ගොස් නැත.

එමෙන්ම කොළඹ 13 ප්‍රදේශයේ පිහිටි 36/53 මහල් නිවාසය සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අභයාරාම තෙමහල් මහල් නිවාසයද මේ වනවිට කඩාවැටීමේ අවදානමට පත්ව තිබේ.

මෙහි ගැටලුව වී ඇත්තේ මෙම නිවාසවලින් ඉවත් වන පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස ලබාදීමට පියවර ගැනුණත් ඇතැම් පදිංචිකරුවන් එම ප්‍රදේශවලට යෑමට අකැමැත්ත පළ කිරීමය.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී. රණවක මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

එහිදී ඔහු පැවසුවේ එම නිවැසියන් සඳහා අලුතින් වෙන් කර ඇති නිවාසවලට යාමට ඇතැම් පිරිස් අකමැති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් ලිඛිතව ද දැනුම් දී ඇති බවත්ය.

නමුත් පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඔවුන් නව නිවාස සඳහා යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .