අයිස්ලන්තයේ ගිනි කන්දක් විදාරණය වෙයි

අයිස්ලන්තයේ ගිනි කන්දක් විදාරණය වෙයි

January 15, 2024   09:35 pm

අයිස්ලන්තයේ නිරිතදිග ග්‍රින්ඩාවික් නගරය ආසන්නයේ පිහිටි ගිනි කන්දක් විදාරණය වී තිබේ.

ඉන් ලාවා ගලායාමෙන් ග්‍රින්ඩාවික් නගරයේ නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කඳු විදාරණයට ඇති අවදානම සළකා 4000ක් පමණ වන නගර වැසියන් නිවාසවලින් ඉවත් කිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග පවා ලාවාවලින් වැසී යාමෙන් අවහිර වී තිබේ.

මේ සමග ප්‍රදේශයට හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.

 

2021 වසරෙන් පසු ග්‍රින්ඩාවික් නගරය පිහිටි රේකනිශ් අර්ධද්වීපයෙන් ගිනි කඳු විදාරණයක් වාර්තා වූ පස්වන අවස්ථාව ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටම එම ප්‍රදේශයෙන් භූකම්පන දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබිණි.

ඒ ගිනි කදු විදාරණ අවදානමක් මතු කරමිනි.

ඒ අනුව ගිනි කදු විදාරණයෙන් නගරයට හානි වීම වැළැක්වීමට ගිනි කන්ද වටා ආරක්ෂිත බැම්මක් ඉදිකිරීමට බලධාරීන් කටයුතු කළේය.

මේ වනවිට එම ආරක්ෂිත බැම්මේ ඇතැම් ස්ථාන කැඩී යාමෙන් නගරයට ලාවා ගලා ඒම සිදුව ඇතැයි සඳහන් වෙයි.

විශේෂඥයින් පවසන්නේ, පවතින තත්ත්වය අතිශයින් හානිකාරක මෙන්ම අනතුරුදායක වන බවය.

එමෙන්ම එම තත්ත්වය ඉක්මනින් සමනය වීමේ සම්භාවිතාවක් ද පෙන්නුම් නොකරන බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

එමෙන්ම ඉන් සිදුවිය හැකි හානිය මෙන්ම ලාවා කෙතරම් දුරට ගලා යාමේ හැකියාවක් පවතිනවා ද යන්න පිළිබඳව පුරෝකතනය කළ නොහැකි බව වාර්තා වෙයි.

මේ අතර ගිනි කඳු විදාරණයකින් පසුව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් ද විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට එම තත්ත්වයෙන් බලපෑම් එල්ල වනු ඇති බව ඔවුන් පවසයි.

ඒ ගිනි කන්දක් විදාරණය වීමෙන් නිකුත් කෙරෙන සල්ෆර් ඩයොක්සිඩ් වැනි වායු හේතුවෙනි.

එමෙන්ම ඇතැම් විට සමේ ආසාදනයන් මෙන්ම උගුර, ඇස් සහ නාසය ආශ්‍රිත ආසාදන ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවද විද්‍යාඥයින් පවසයි.

මේ අතර පවතින අයහපත් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැතිවරයා පවසා ඇත්තේ මෙය අයිස්ලන්තයට ඉතාමත් අඳුරු දිනයක් වන බවය.

සක්‍රිය ගිනි කඳු වැඩිම ප්‍රමාණයක් පවතින රටක් ලෙස අයිස්ලන්තය සැලකේ.

එරට පවතින සක්‍රීය ගිනි කදු ගණන 32කි.

සාමාන්‍යයෙන් වසර 4කට හෝ 5කට වරක් එරටින් මෙවැනි ගිනි කදු විදාරණයක් වාර්තා වෙයි.

කෙසේ වුවද 2021 වසරේ සිට ගිනි කඳු විදාරණ අවස්ථා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.