කළුතර ඛේදවාචකයේ අලුත්ම කතාව

කළුතර ඛේදවාචකයේ අලුත්ම කතාව

January 14, 2024   10:08 pm

කළුතරදී කළුගඟේ දිය නැමට ගිය 15 සහ16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

උපන්දින සැමරුමක් සඳහා එහි ගොස් දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ අද පස්වරුවේ දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවටය.

මෙලෙස මියගියේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර  සහ  දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙකි.

මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බවද අනාවරණය වී තිබේ.

එක් සිසුවියකගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබී ඇති අතර, ඒ නිමිත්තෙන් ඔවුන් කැළිඩෝ වෙරළ තීරයට පැමිණ තිබුණි.

පළමුව මුහුදේ දියනාමින් සිටි ඔවුන් එක් සිසුවියකගේ ඉල්ලිම පරිදි කළුගගේ කලපුවට ගොස් තිබුණි.

එහිදී ඔවුන් දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන සුව සැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.