අනුරුද්ධිකාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි
January 10, 2024 12:50 pm
කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබුණි.
එම කාන්තාව හොරණ - කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.
ඝාතනය සිදුකළ පුද්ගලයා අනතුරුව මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.
මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවකි.
ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බව වාර්තාවෙයි.
ඝාතකයා පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.
ඒ අනුව සැකකරු විදෙස්ගතවීමට උත්සාහ ගැනීමේදී අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට පත්වුණේ 47ත් හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් නැමැත්තෙකි.
ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි සැකකරන බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
සැකකරු පාතාල සාමාජිකයෙකුවන 'ඇල්ටෝ ධර්මේ' නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බව ද පොලීසිය සඳහන් කළේය.