ගියවරට සාපේක්ෂව සජිත්ගේ මනාප ගණන අඩුවෙයි

ගියවරට සාපේක්ෂව සජිත්ගේ මනාප ගණන අඩුවෙයි

November 16, 2024   04:33 pm

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහත වැටී තිබේ.

එහිදී 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744 ක් ලබා ගැනීමට සමත් විය.

නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 145,611ක් පමණි.

ඒ අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 160,133ක් මෙවර මැතිවරණයේදී ඔහුගෙන් ගිලිහී ගොස් තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකොටු රැසක බලය ද මෙවර මැතිවරණයේදී බිඳ දැමීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

කොළඹ උතුර, මධ්‍යම, නැගෙනහිර, බටහිර ආදී ඡන්ද බල ප්‍රදේශ රැසක් දීර්ඝ මැතිවරණ ඉතිහාසයක් තුළ එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණ රැසක් අත්කර දුන් සුවිශේෂී බලකොටු බවට පත්ව තිබූණි. 

ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් සමගි ජන බලවේගය එම බලකොටු සිය පක්ෂය සතු කරගැනීමට සමත් වූ නමුත් මෙවර මැතිවරණයේදී එම බලකොටු සියල්ලේ බලය ජාතික ජන බලවේගය සතු කර ගැනීමට සමත් විය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු වූ කොළඹ ඡන්ද බල ප්‍රදේශ රැසක බලයද මෙවර සජිත් ප්‍රේමදාස මහතාගෙන් ගිලිහී ගොස් තිබේ.