පොළොන්නරුවට හෙරොයින් බෙදූ අඹුසැමි යුවළ කොටුවෙයි
January 2, 2024 09:09 pm
පොළොන්නරුවේ මෙතෙක් සිදුවූ දැවැත්තම මත්ද්‍රව්‍ය මෙහෙයුම අද දහවල් සිදුකළ පොලීසිය පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවියන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් හා හෙරොයින් ග්‍රෑම් 25ක් ද සොයාගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් කාන්තාව තමාව මුදාහරින ලෙස ඉල්ලා පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබා දීමටද උත්සාහ කර ඇතැයි වාර්තා වෙයි.
සැකකාර අඹුසැමි යුවළ හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මාස කීපයකට ඉහතදී මියගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "වනාතේ තම්බි " නැමැත්තාගේ බිරිඳ සහ තවත් අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් වලින් මිලදී ගත් බවට සැක කරන රන් ආභරණ කිලෝවකට අධික ප්‍රමාණයක් සමඟ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ
එම රන් ආභාරණ තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර සැකකරුවන් සතුව තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යද, ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ 57000/= මුදලක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ සුරකුම්පත් දෙකක් ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් පදිංචිව සිටි බොරැල්ල වනාත පාරේ තෙමහල් නිවසක් සහ සින්න දූපතේ පිහිටි සූඛෝපබෝගී තෙමහල් නිවසක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් සිදුකිරීමට නියමිතය.
යුක්තිය මෙහෙයුමෙහි 16 වන දිනය තුළ සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 60 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකරුවන් 72 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශ ලේඛනගත තවත් සැකකරුවන් 91 දෙනෙකු ද ගතවූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසීය.