ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි

December 16, 2023   09:32 pm

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් පසුගිය 11 වනදා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 75 වැනි සංවත්සරය සමරනු ලැබීය.

"සැමට ගරුත්වය, නිදහස සහ යුක්තිය" යන්න තේමාව කරගනිමින් මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි (ධුර කාලය 2003 - 2006) ආචාර්ය රාධිකා කුමාරස්වාමි, මානව හිමිකම් කොමිසමේ වත්මන් සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය, කොමිසමේ සාමාජිකයින් සහ එහි ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.

ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය රාධිකා කුමාරස්වාමි විසින් UDHR සම්මත කිරීම හා ඒ සම්බන්ධ කෙටි ඉතිහාසයක් සහිත දේශනයක් ඉදිරිපත් කළාය.

ජාත්‍යන්තර මානව හිමිකම් රාමුව ගොඩනැගීම සඳහා එය සකස් කිරීමේ වැදගත්කම ද මෙම දේශනයේ දී ඉදිරිපත් කෙරිණි.

ලොව පුරා මානව හිමිකම් බිඳවැටීමේ ව්‍යසන සිදුවෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර නීතියට එරෙහිව එල්ල වන වත්මන් විවේචන ගැන සඳහන් කරමින්, යුගයේ අවශ්‍යතාව විවේචනය කිරීම නොව ජාත්‍යන්තර මානව හිමිකම් මගින් එවැනි ව්‍යසන සිදුවීම වළක්වාගනිමින්, එම නීති ශක්තිමත් කර ඒවාට විසඳුම් සෙවීම බව ආචාර්ය රාධිකා කුමාරස්වාමි විසින් සඳහන් කරනු ලැබීය.