ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

December 12, 2023   10:08 pm

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මගින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) අද (12) ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණි.

එහිදී 'අරුණ' 'The Morning' 'Thamilan' පුවත්පත් සහ සහෝදර මාධ්‍යවේදීන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉංග්‍රීසි මාධ්‍ය යටතේ සෞඛ්‍ය සහ වෛද්‍ය පුවත් වාර්තාකරණයේ වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියා ලෙස සම්මානය දිනා ගැනීමට The Morning පුවත්පතේ කේ. ඒ. සුමුදු චාමර සමත් විය.

ඉංග්‍රීසි මාධ්‍ය යටතේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය The Sunday Morning පුවත්පතේ සී. ආර්. ජනිස්ටර් පෙරේරා දිනා ගත්තේය.

සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි මහාචාර්ය කායිලාසපති කුසලතා සම්මානය හිමිකර ගැනීමට 'අරුණ' පුවත්පතේ එච්. ලියන් පතිරණ සමත්වී තිබුණි.

වසරේ විශිෂ්ටතම විශේෂාංග රචකයා - උපාලි විජේවර්ධන අනුස්මරණ කුසලතා සම්මානය (දමිළ මාධ්‍ය) Thamilan පුවත්පතේ ඒහාම්බරම් රවිවර්මන් ට හිමිවිය.

වසරේ විශිෂ්ටතම නිර්මාණාත්මක පුවත්පත (දමිළ මාධ්‍ය) ලෙස Thamilan පුවත්පත සම්මානයට පාත්‍ර වුණි.

වසරේ විශිෂ්ටතම ඡායාරූප මාධ්‍යවේදියා ලෙස 'සතිඅග අරුණ' පුවත්පතේ එස්. අබේසිරිවර්ධන සම්මානය දිනා ගත්තේය.

පුවත්පත් මගින් පවත්වාගෙන යන වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස aruna.lk කුසලතා සම්මානය දිනා ගත්තේය.

2022 ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ ජාතික පුවත්පත්වල පළවූ ලිපි, කාටූන්, ඡායාරූප මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කර තිබුණි.