ගාසාහි යුද මුක්ත කලාපයක් ගැන ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ගාසාහි යුද මුක්ත කලාපයක් ගැන ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

December 6, 2023   03:43 pm

දකුණු දිග ගාසා තීරයේ මෙහෙයුම් පුළුල් කරමින් ඊශ්‍රායල හමුදා එහි ප්‍රධාන නගරය වන ඛාන් යුනිස් වෙත මෙතෙක් එල්ල කළ දරුණුතම ප්‍රහාරය දියත් කර තිබේ.

යුද ගුවන්යානා ආවරණය සහිතව යුද ටැංකි පෙරමුණු කොටගත් ඊශ්‍රායල හමුදා දැන් නගර මධ්‍යයට ළඟාවී ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

එමෙන්ම නගරය සිය හමුදා මඟින් වටලා ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඊයේ (05) රාත්‍රිය පුරා ඛාන් යුනිස් නගරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි දැවැන්ත විනාශයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විශේෂයෙන් එහි ළමා මරණ රැසක් වාර්තා වී ඇති අතර විනාශ වූ ගොඩනැගිලි සුන්බුන්වල වැළලුණු මළ සිරුරු ඉවත්කර ගැනීම පවා දුෂ්කර බව වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට එහි වෛද්‍ය කාර්ය මණ්ඩල තමන් සතු සීමිත සම්පත්වලින් ප්‍රබල උත්සාහයක නිරත වන බව සඳහන්ය.

ඛාන් යුනිස් නගරයේ නිවහන් ගොඩනැගිලි රැසක් මෙලෙස ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට ලක්වී විනාශයට පත්වී තිබේ.

මෙලෙස ගාසා තීරයේ සිවිල් වැසියන් සහ ඔවුන්ගේ යටිතල පහසුකම්වලට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීම උමතු ප්‍රහාරයක් (PURE MADNESS) ලෙස පලස්තීන ප්‍රදේශ සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් හඳුන්වා ඇත.

එය සිවිල් ජන සංහාරයක් ලෙස හැඳින්වූ ඇය එම ප්‍රහාර කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකි බව අවධාරණය කර තිබේ.

මෙලෙස සිවිල් වැසියන් ඝාතනය වහා නතර කළ යුතු බව අවධාරණය කළ ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරිය වැඩිදුරටත් කියා සිටියේ ඛාන් යුනිස් නගරයේ මේ වනවිට රෝහල් ක්‍රියාත්මක නොවන අතර ඖෂධ කිසිවක් නොමැති බවයි.

එම තත්ත්වය හැඳින්වීමට වදන් නොමැති බවද ඇය 'X' අවකාශයේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

හමාස්හි සන්නද්ධ බළකාය වන 'කසාම් බ්‍රිගේඩ්' සඳහන් කළේ ඊශ්‍රායල හමුදාවලට දරුණු හානි සිදුකිරීමට තමන් සමත්වූ බවයි.

ගොඩබිම් සටන්වලදී තවත් සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඒ අනුව ගොඩබිම් සටනේදී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊශ්‍රායල හමුදාව සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මේ අතර ඛාන් යුනිස් නගරයේ ජීවිත හානි සමඟ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 16,248 දක්වා ඉහළ ගොස් තිබේ.

ළමයින් 7,112ක් සහ කාන්තාවන් 4,885ක් එම පිරිසට ඇතුළත් බව වාර්තා වේ.

මෙලෙස පලස්තීන වැසියන් මුහුණදෙන ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාකාරී පියවරකට එළැඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන නියෝජිත කාර්යාලය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර හමාස් සංවිධානය සමඟ යුද්ධයේ නිමාවත් සමග ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත්කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

එම මෙහෙයුම ඊශ්‍රායල හමුදාවට මිස වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයකට හෝ හමුදාවකට සිදුකළ නොහැකි බව ඔහු සඳහන් කරයි.

ඊශ්‍රායලයට එදිරිවාදිකම් කරන කණ්ඩායම් සිටින ප්‍රදේශ ජාත්‍යන්තර හමුදා මගින් නිරායුධ කිරීම මීට පෙරද අසාර්ථක වී ඇති බව අගමැති නෙතන්යාහු කියා සිටියා.

මේ නිසා ජාත්‍යන්තරය ඉදිරිපත් කරන ගාසා තීරයේ අනාගත සැකැස්ම ඊශ්‍රායලය විසින් පිළිනොගන්නා බව අගමැති නෙතන්යාහු අවධාරණය කරයි.

මේ අතර තවදුරටත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් ඊයේ පවත්වා ඇති අතර එහිදී අගමැති නෙතන්යාහුගේ ප්‍රකාශවලින් ඔවුන් උදහසට පත්වූ බව වාර්තා වේ.

ඔවුන් එහිදී තම ඥාතීන් නිදහස් කරගැනීම සඳහා ප්‍රබල හඬක් නැගූ බවත් ඔවුන් දැඩි කෝපයෙන් සිටි අතර ඇතැමුන් එම හමුවෙන් ඉවත්ව ගිය බවත් වාර්තා වේ.

දින 07ක සටන් විරාම කාලය තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙකු පමණ නිදහස් කළ අතර, තවත් 138 දෙනෙකු තවදුරටත් ගාසා තීරයේ රඳවාගෙන සිටින බව සඳහන්ය.

නිදහස ලැබූ ප්‍රාණ ඇපකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක්ද මෙම හමුවට සහභාගි වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි කාලයේ තමන් ගත කළ දිවිය පිළිබඳ පැවසූ ඇතැම් ප්‍රකාශ සටහන් ඊශ්‍රායල බලධාරීන් විසින් ඉවත් කර ඇති බවයි.

මේ අතර, පලස්තීන ගාසා තීරයේ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියද අමෙරිකාව විසින් ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර නතර නොකරනු ඇතැයි රොයිටර්ස් වාර්තා කරයි.

කෙසේ නමුත් සිය මෙහෙයුම්වලදී සිවිල්වැසියන්ට සිදුවන ජීවිත හානි අවම කරන ලෙස ජනපති බයිඩන්, උපජනාධිපතිනි කමලා හැරිස්, රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඇතුළු අමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨයන් ඊශ්‍රායලය වෙතින් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ.

කෙසේ නමුත් බයිඩ්න් පරිපාලනයේ නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ඊශ්‍රායලයට එවැනි තර්ජනාත්මක බලපෑමක් කිරීම ප්‍රතිඵලදායක නොවන බව ඔවුන්ගේ අදහස බවයි.

එමෙන්ම ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර අඩු කිරීම කලාපයේ අනෙකුත් රටවල් ගැටුමට එක්වීම සඳහා දිරිගන්වන බව බයිඩ්න් පරිපාලනයේ අදහස වී තිබේ.

මේ අතර අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියක වන රෂීඩා තායිබ් පෙන්වා දෙන්නේ පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකානු ජනමතය කොංග්‍රස් මණ්ඩලය මගින් පිළිඹිබු නොවන බවයි.

අමෙරිකානුවන් 61%ක් ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයක් අපේක්ෂා කළ ද කොංග්‍රස් මණ්ඩලයේ දී ඊට පළවන්නේ 11%ක සහායක් බව ඇය සඳහන් කර ඇත.