දැනෙන ලෙස රන් මිල ඉහළට

දැනෙන ලෙස රන් මිල ඉහළට

April 1, 2025   05:25 pm

වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු ඉහළම අගය සලකුණු කරමින් අවුන්සයක් ඩොලර් 3,100 ඉක්මවා තිබේ. 

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ කැරට් 24 රන් අවුසයක මිල ඊයේ (31) සටහන් වුයේ ඩොලර් 3,128.06ක් ලෙසය. 

අද (01) එය අවුන්සයකට ඩොලර් 3,137ක් ලෙස තවදුරටත් ඉහළ ගොස් ඇත.

රන් මිල මේ අන්දමට ඉහළයාමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවු සහ පැනවීමට සැරසෙන තීරුබදු මඟින් අමතර තල්ලුවක් ලබාදුන්නත් ඒ සඳහා බලපා ඇති තවත් කාරණා තිබේ. 

ලොවපුරා මහබැංකු මගින් විශාල වශයෙන් රන් මිලදී ගැනීම නිසා ඇති වී තිබෙන ඉල්ලුමද එවැනි එක් හේතුවකි. 

ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාවේ මහබැංකුව නැත්නම් මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාත තවදුරටත් පහත හෙලීමේ ප්‍රවණතාව තවත් හේතුවකි. 

ඔබ දන්නවා පොලී අනුපාත පහත හෙළීමෙන් ආයෝජන තැන්පතුවල ඵලදායීතාව නැත්නම් ප්‍රතිලාභ අඩුවන බව. 

මැදපෙරදිග සහ යුරෝපයේ භූ දේශපාලනික උණුසුමත් ඒ සඳහා බලපා ඇති කාරණයකි. 

එයින් අදහස වන්නේ ගාසා යුද්ධය සහ ඒ හා සම්බන්ධ ගැටුම් මෙන්ම රුසියානු - යුක්‍රේන යුද්ධය ගැනය. 

රන්මිල මෙලෙස අසීමාන්තිකව ඉහළයාමට තවත් හේතුවක් තමයි රන් හා බැඳුනු හුවමාරු අරමුදල් සඳහා විශාල වශයෙන් ආයෝජන ගලා ඒම. 

ගෝල්ඩ් බැක්ඩ් එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ්ස් (Gold - backed Exchange Traded Funds) අද ලෝකයේ නව ආායෝජන ප්‍රවණතාවකි. 

ලෝක වෙළෙඳපෙළේ රන්මිල 2025 ජනවාරි කාර්තුවේදී සටහන් කරන්නේ 1986න් පසු ඉහළම කාර්තුවක වර්ධනයයි. 

2025 වසරේදී රන්මිල 20 වතාවක් ඉතිහාසයේ ඉහළම අගය පසුකර යාම විශේෂත්වයක්. 

ඉන් අටවතාවක්ම එම අගය අවුන්සයක් ඩොලර් 3,000 ඉක්ම වු අවස්ථාවක්. 

රන්මිල 2025 වසරේදී මේ දක්වා 18%කින් පමණ වර්ධනය වී තිබීම. 

2024 වසරේදීත් ලෝක වෙළෙඳපොළේ රන්මිල 27%කින් ඉහළ යාම. 

රන් වෙළෙඳපොළ පිළිබඳ ජර්මානු විශේෂඥයෙකු පවසන ආකාරයට භූ දේශපාලනික උණුසුම නිසා මතු වී ඇති කාරණා වගේම, උද්ධමනය ඉහළයාමේ ප්‍රවණතාව සහ ආයෝජකයන් වෙතින් ලැබෙන ඉහළ ඉල්ලුම හමුවේ රන්මිල තවදුරටත් ස්ථාවර ඉහළ මට්ටමක පවතීවි. 

වෙළෙඳ යුද්ධය හමුවේ අමෙරිකානු ඩොලරය කෙරෙහි රඳා පැවැත්ම අවම කිරීම සඳහාත් මහබැංකු විසින් විශාල වශයෙන් රන්මිලදී ගන්නා බවත් විශ්වාස කෙරේ. 

එහෙත් එය ඩොලරය කෙරෙහි විශ්වාසය පළුඳුවීමක් ලෙස ආර්ථික විශ්ලේෂකයන් දකින්නේ නැත. 

කෙසේ නමුත් මහබැංකු වැනි නිල අංශයේ මිලදී ගැනීම් සමග රන් අවුන්සයක මිල 2025 වසර අවසානය වන විට ඩොලර් 3300 දක්වා ඉහළයාමේ හැකියාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.