අභාවප්‍රාප්ත සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

December 5, 2023   10:54 am

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

කලාකරුවන්, හිතවතුන් මෙන්ම බොහෝ දෙනෙක් එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිට පැමිණෙමින් සිටී.

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ඊයේ (04) උදෑසන ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුණි.

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණි.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන තෙවැදෑරුම් රූපණ මාධ්‍ය සිය දක්ෂතාවෙන් අතික්‍රමණය කළ සුමින්ද සිරිසේන හැටේ දශකයේදී රංගන ක්ෂේත්‍රයට පිවිසියේය.

ඔහු කාගෙත් කතාබහට ලක්වූයේ මුහුදු පුත්තු වේදිකා නාට්‍යය හරහායි.

ඒ මහතා 1976 වසරේදී විජය ධර්ම ශ්‍රී මහතාගේ දුහුලු මලක් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.

එමෙන්ම අසූව දශකයේ ටෙලිනාට්‍ය රංගනයට පිවිසි සුමින්ද සිරිසේන මහතා අසල්වැසියෝ, සිහින නිම්නය, හිරුට මුවාවෙන් ආදි ජනප්‍රිය නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දැක්වූ අතර ඔහු වඩාත් ප්‍රසිද්ධිය දිනාගත්තේ චරිත තුනක් ටෙලිනාට්‍යෙය් "ඉසා"ගේ චරිතයෙනි.
 
සිනමාව වේදිකා නාට්‍ය සහ රූපවාහිනි තීරයේ විශිෂ්ට රංගනයක් දැක් වූ ඔහු අවස්ථා රැසකදී හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍රවී තිබේ.