
ඇළකට පැන පළායාමට තැත්කළ සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ පොලිස් නිලධාරී කණ්ඩායමකින් එක් පොලිස් නිලධාරියෙක් එහි ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
ජාඇල ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇල ප්‍රදේශයේදී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර ඇති බවත්, ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළට පැන ඇති බවත් ය.
අතුරුදන්ව ඇත්තේ එම පිරිසෙන් එක් අයෙකි.
සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් සඳහන් කළේ,
"මං කිව්වා පනින්න එපා පුතේ.. ඔය ඇළ ඔයගොල්ලන්ට හුරු නැහැ කියලා. එතකොටම පැන්නා. හතර දෙනෙක් බැස්සා. මෙයාව එකපාරටම වතුරේ කැරකුණා. අත් දෙක දෙපාරක් ඉස්සුනා.. ඊළඟ පාර යටට ගියා."





















































