පැට් කමින්ස් ගැන සුරේෂ් රයිනා කියයි

පැට් කමින්ස් ගැන සුරේෂ් රයිනා කියයි

November 22, 2023   10:00 pm

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ඔස්ට්‍රේලියාව ජය ගැනීම පිළිබඳ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සුරේෂ් රයිනා අදහස් පළ කර තිබේ.

අවසාන මහා තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ගේ තීක්ෂ්ණ නායකත්වය බෙහෙවින් ඉවහල් වූ බව සුරේෂ් රයිනා ගේ අදහසයි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරු ව පළමුවෙන් පන්දු යැවීම සඳහා ඔහු සතු වූ නිර්භයත්වය ඊට කදිමට සාක්ෂි සපයන බව ද ඔහු සඳහන් කර ඇත.

කාසියේ වාසිය ගැන ලබා ගත් තීරණය පමණක් නොව, සිය පන්දු යවන්නන් මනාව කළමනාකරණය කළ ආකාරය, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව උපාය උපක්‍රම භාවිතය ද පැට් කමින්ස් ගේ නායකත්වයේ විශිෂ්ට ලක්ෂණ ලෙස සුරේෂ් රයිනා හඳුන්වා තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු රැකීම තුළ තිබූ විශේෂ දක්ෂතා ගැන ද රයිනා අදහස් පළ කර ඇත.

විශිෂ්ට පන්දු රැකීම තුළින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය ලකුණු පුවරුවේ ලකුණු 30ක් 40ක් පමණ උදුරා ගත් බව ඔහු පවසයි.

මෙම සියලු ප්‍රතිඵල පැට් කමින්ස් ගේ නායකත්වයේ ඇති විශිෂ්ටත්වයේ ලක්ෂණ බව සුරේෂ් රයිනා නැවතත් සඳහන් කර තිබේ.