රජයට අහිමි වීමට ගිය විශාල බදු ආදායම

රජයට අහිමි වීමට ගිය විශාල බදු ආදායම

November 22, 2023   03:55 pm

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද බහලුමක් පරීක්ෂා කිරීමේ දී නීති විරෝධී ලෙස ගෙන්වන ලද කුරක්කන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ.

බහලුමේ හිමිකරු විසින් රේගුව වෙත ඉදිරිපත් කර ඇති රේගු ප්‍රකාශනයට අනුව, එහි අඩංගු භාණ්ඩ ලෙස සඳහන් ව තිබී ඇත්තේ, කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් 25,000කි.

නමුත් නිලධාරීන්ට ඇති වූ සැකය මත තවදුරටත් බහලුම පරීක්ෂා කිරීමේ දී නීති විරෝධී ව ගෙන්වන ලද කුරක්කන් තොගය හමු වී ඇත.

කුරක්කන් තොගය කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 800ක අසුරා තිබී ඇති අතර, එහි සමස්ත ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 24,000කි.

කුරක්කන් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 19.2ක් වන අතර, එහි බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.5ක් බවට ගණන් බලා තිබේ.

රේගු ආඥා පනත යටතේ මෙම සම්පූර්ණ භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණයකින් පසු රාජසන්තක කිරීමට නියමිත බව සඳහන්ය.

මේ අතර, නීති විරෝධී ලෙස ආනයනය කරන ලද කිලෝ ග්‍රෑම් 9,500ක උඳු තොගයක් ද අත්අඩංගුවට ගැනීමට රේගුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවට කැල්සියම් කාබනේට් 9,910ක් අඩංගු බවට සඳහන් කර රේගු බදු ලෙස රුපියල් 279,704ක මුදලක් ද ගෙවා මෙම උඳු තොගය නිෂ්කාශනය කිරීමට අදාළ සැකකරු උත්සාහ කර ඇත.

උඳු තොගය ප්ලාස්ටික් බැරල් 198ක් තුළ අසුරා තිබී ඇති අතර, බැරල්වල මතුපිටින් සුදු පැහැති පවුඩර් විශේෂයක් ද අසුරා තිබුණු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් උඳුවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් 19,000,000ක් ලෙස ගණන් බලා ඇති අතර, මේ හරහා රජයට අහිමි වීමට ගිය බදු ආදායම රුපියල් 2,850,00කි.