සීනි ගැන රජය දැඩි තීරණයකට සැරසෙයි
November 19, 2023 08:22 pm
මේ වනවිට රටතුළ පවතින සීනි තොග ගණනයකර අවසන් බැවින් හෙට (20) දිනයේ ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පවතින කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට අවශ්‍ය පියවරද ඉදිරි සතිය තුළ ගන්නා බවය.
"කීරි සම්බා ප්‍රශ්නයක් තියෙනවා. මාස එකහමාරක ඉඳන් වෙළෙඳපොළේ කීරි සම්බා නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් තුන්දෙනෙක් වෙළෙඳපොළේ අසමානතා ඇති කරනවා. ඉදිරි සතියේ තීන්දුවක් ගන්නවා ඒ සහල් ප්‍රමාණය ආනයනය කරන්න."
සීනි මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය කටයුතු කිරීමත් සමඟ වෙළෙඳපොළේ හටගත් සීනි හිඟය තවදුරටත් පවතියි.
සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසින් පාරිභෝගික අධිකාරිය උපරිම සිල්ලර මිලක් නියම කළේ පසුගිය තුන්වනදා සිටය.
ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමත් සමග වෙළෙඳපොළේ සීනි මිල සීඝ්රයෙන් ඉහළ යෑම පාලනයට මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කෙරුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පැවසුවේ උපරිම සිල්ලර මිලක් පමනක් නියම නොකර, තොග මිල, අතර මැදි මිල සහ සිල්ලර මිල යන තුනටම වෙන් වෙන් වූ උපරිම මිලක් නියම කළ යුතු බවය.
මේ අතර, මෙරට පවතින සීනි තොග වෙළෙඳපොළට නිකුත් කරවීමේ අභියෝගය පාරිභෝගික අධිකාරිය සතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
"දැනට සීනි මෙට්‍රක් ටොන් 19,000ක් රට ඇතුලේ තියෙනවා කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියනවා. ඒ 19,000 උපරිම සිල්ලර මිලට වෙළෙඳපොළට නිකුත් කර ගැනීමේ අභියෝගය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පාරිභෝගිකයා කවුරුත් කරන්න ඕනේ. ඒ අභියෝගය ජය ගැනීම. නැත්නම් තමයි අයුතු ලාභයක් මේවා රැස් කරගෙන ඉන්න අයට යන්නේ."