නෙතන්යාහු ගේ යුදමය ක්‍රියාවලිය කැනඩාවේ විවේචනයට
November 15, 2023 02:58 pm
උතුරු ගාසා තීරයේ පිහිටි අල්-ෂිෆා රෝහල වටලා සිටි ඊශ්‍රායල සන්නද්ධ හමුදා දැන් ඊට ඇතුළු වී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
රෝගීන් 650ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 500ක් පමණ සහ සිවිල් වැසියන් 5,000ත් 7,000ත් අතර සංඛ්‍යාවක් මෙහි රැකවරණ ලබමින් සිටින බව වාර්තා වේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මුහීර් අල් බර්ෂ් ප්‍රකාශ කර ඇති පරිදි ඊශ්‍රායල හමුදා අල් ෂිෆා රෝහල් සංකීර්ණයේ බටහිර දෙසින් ඇතුළු වී ඇති අතර, රෝහල තුළ පිපිරීම් කිහිපයක් ද සිදු ව තිබේ.
ඊශ්‍රායල හමුදා රෝහලේ ශල්‍යාගාර සහ හදිසි සේවා අංශවලට ද ඇතුළු වී පරීක්ෂා කරන, අතර රෝහලේ බිම් මහලට ඇතුළු වී වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ, ඊශ්‍රායල හමුදා ඇතුළු වීමත් සමඟ රෝහලේ සිටින රෝගීන් සහ සිවිල් වැසියන් බියටත් සංත්රාසයටත් පත් ව ඇති බවයි.
ඊශ්‍රායල හමුදා අල් ෂිෆා රෝහලට ඇතුළු වූයේ, එහි හමාස් සන්නද්ධ පිරිස් රැඳී සිටින බව පවසමිනි.
එමෙන්ම හමාස් සංවිධානය පැහැර ගත් ප්‍රාණ ඇපකරුවන් ද එහි රඳවා ඇති බවට සැකයක් පවතින බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
තමන් හමාස් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුමක් අල් ෂිෆා රෝහලේ දියත් කර ඇති බව පවසන ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් සාමාජිකයන්ට යටත් වන ලෙස තමන් දැනුම් දුන් බවයි.
අල් ෂිෆා රෝහල හමාස් සංවිධානයේ අණ දෙන මධ්‍යස්ථානයක් (command center) ලෙස භාවිත කරන බවට චෝදනා කරන ඊශ්‍රායල හමුදාව දැන් එහි බිම් මහලේ වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන්ය.
රෝගින්, වෛද්‍ය කාර්ය මණ්ඩල සහ සිවිල් වැසියන්ට රැකවරණ ලබාදෙන ගාසා තීරයේ අල් ෂිෆා රෝහල මේ දිනවල ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූයේ, එහි සැපයුම් සියල්ල අඩාල වී මෙහෙයුම් අකර්මණ්‍ය වීම හේතුවෙනි.
ඉන්ධන නොමැති වීම නිසා නොමේරූ ළදරුවන් රඳවා තිබූ ඉන්කියුබේටර් යන්ත්‍ර ක්‍රියාත්මක නොවන නිසා ළදරුවන් බ්ලැන්කට්වල ඔතා උණුසුමක් සහිත ඇඳන්වල පෙළ ගස්වා තිබූ අයුරු ඕනෑම අයෙකුගේ හද කම්පා කරවන දර්ශනයක් වී ඇත.
එම නොමේරූ ළදරුවන් රැඳවීමට බැටරි බලයෙන් ක්‍රියාකරන ජංගම ඉන්කියුබේටර් ලබාදෙන බව ඊශ්‍රායලය මාධ්‍යය වෙත ප්‍රකාශ කළ ද රෝහල් පරිශ්‍රයට ඔවුන් එවා ඇත්තේ, යුද ටැංකි සහ සන්නද්ධ රථ පමණක් බව වාර්තා වේ.
කෙසේ නමුත් කවරාකාරයකින් හෝ ඊශ්‍රායලයේ මතයට අවසානයේ එකඟ වන අමෙරිකා එක්සත් ජනපද ජෝ බයිඩ්න් පරිපාලනය විසින් අල් ෂිෆා රෝහල හමාස් සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බවට තම බුද්ධි අංශ විසින් ද තහවුරු කරන බව සඳහන් කළේය.
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ට ද ජනපති ජෝ බයිඩ්න් එහි දී පණිවුඩයක් ලබා දී ඇත.
''එහි රැඳී ඉන්න - අප පැමිණෙනවා. Hang on there - we are'' ලෙස ජනාධිපති බයිසන් සඳහන් කර ඇත.
ඊශ්‍රායල හමුදා අල් ෂිෆා රෝහල් පරිශ්‍රයට ඇතුළු වූයේ ඉන් අනතුරුවයි.
හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, අමෙරිකාවේ ප්‍රකාශය, රෝහල තුළ මෙහෙයුම් සිදු කිරීම සඳහා ඊශ්‍රායල හමුදා වෙත ලබාදුන් කොළ එළියක් බවයි.
මේ නිසා රෝහල තුළ සිදු කරන මෙහෙයුම් සඳහා සම්පූර්ණ වගකීම ජනපති ජෝ බයිඩ්න් විසින් දැරිය යුතු බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
එහෙත් පසුව නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා සඳහන් කළේ, අහිංසක ජනතාව, රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල තුළ අවි ගැටුමක් තමන් අපේක්ෂා නොකරන බවයි.
රෝහල් සහ රෝගීන් ආරක්ෂා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අල් ෂිෆා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල, රෝගීන් සහ අවතැන් වූ ජනතාවගේ ජීවිතවල වගකීම ආක්රමණික ඊශ්‍රායල හමුදා විසින් දැරිය යුතු බව පලස්තීන අධිකාරියේ සෞඛ්‍ය අමාත්‍යවරිය මායි අල්- කයිලා ද ප්‍රකාශ කර තිබේ.
හමාස් පාලනය යටතේ නොමැති පලස්තීන බටහිර ඉවුරේ පාලනය හොබවන පලස්තීන අධිකාරියේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ඇය කටයුතු කරයි.
ගාසා තීරයේ මෙහෙයුම්වලට සමගාමී ව ඊශ්‍රායල හමුදා පලස්තීන බටහිර ඉවුරේ ද මෙහෙයුම් සිදු කරන අතර, ගත වූ මාසයක කාලය තුළ ඊශ්‍රායල මෙහෙයුම්වලින් බටහිර ඉවුරේ පලස්තීනුවන් 182 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් 46ක් ළමයින් බව වාර්තා වේ.
ඊශ්‍රායල මෙහෙයුම්වලින් ගාසා තීරයේ මිය ගිය පලස්තීනුවන් ගේ සංඛ්‍යාව පසුගිය 10 වැනි දායින් පසු පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යාවත්කාලීන කර නැත.
අවසන් වරට නොවැම්බර් 10 වැනිදා නිකුත් කළ දත්තවලට අනුව ගත වූ මාසය තුළ ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම්වලින් පලස්තීනුවන් 11,078 ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් 4,506ක් ළමයින් බව වාර්තා වේ.
කාන්තාවන් 3,027ක් ද ඒ අතර වේ.
ළමුන් 1,500ක් ඇතුළු තවත් 2,700ක් පලස්තීනුවන් අතුරුදන් වී ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය එහි දී සඳහන් කළේය.
ඊශ්‍රායලය විසින් අඛණ්ඩ ව එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම් නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි වීමත් මෙලෙස පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වීමට බලපා තිබේ.
තවත් 27,500ක් පමණ ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බව එම අවසන් දත්ත නිවේදනයේ දැක්විණි.
අල් ෂිෆා රෝහල තුළ මිය ගිය 100කට අධික පිරිසක ගේ සිරුරු, රෝහල් පරිශ්‍රයේම විශාල සමූහ මිනීවලක මිහිදන් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය හා සිවිල් වැසියන් ඊයේ කටයුතු කළේ, ඊශ්‍රායල හමුදා රෝහලට ඇතුළු වීමට පෙරය.
රෝහල තුළ මළසිරුරු 179ක් ගොඩගැසී තිබූ අතර, පසුගිය සෙනසුරාදා රෝහලේ ජනන යන්ත්‍ර අක්‍රිය වීමෙන් පසු මිය ගිය ළදරුවන් 07 දෙනෙකු ගේ සහ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 29 දෙනෙකු ගේ සිරුරු ද ඒ අතර වූ බව අල් ෂිෆා රෝහල් අධ්යක්ෂ මෙහොමඩ් අබු සල්මියා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.
වෙඩි තබමින්, යුද ටැංකි ෂෙල් වෙඩි එල්ල කරමින් අල් ෂිෆා රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වූ ඊශ්‍රායල හමුදා සෙබළුන් රෝහලේ කාමරයක් කාමරයක් පාසා යමින්, සෑම කොරිඩෝවක් වෙත යමින් වෛද්‍යවරුන් ගෙන්, කාර්ය මණ්ඩල වෙතින් ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා විය.
මේ අතර, ගාසා තීරයේ ඇති වී තිබෙන්නේ හද සසල කරවන මානුෂීය ඛේදවාචකයක් බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ කළ ප්‍රකාශයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ දැඩි විවේචනයට ලක් වී ඇත.
සියලුම පලස්තීන සිවිල් වැසියන් පීඩාවට ලක් කරමින් යුක්තිය ඉටුකරගත නොහැකි බවත් යුද්ධයකට වුවත් නීති පවතින අතර, ඊශ්‍රායල සහ පලස්තීන දෙපාර්ශ්වයේම සියලු අහිංසක ජීවිතවල වටිනාකම එක සමාන බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව විසින් කාන්තාවන් ළමයින් සහ ළදරුවන් ඝාතනය කිරීම වහා නතර කළ යුතු බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටිස් ටෘෘඩෝ ප්‍රකාශ කර තිබූ අතර, ඊට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගෙන් එල්ල වූයේ දැඩි ප්රතිචාරයකි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රකාශ කළේ, සිවිල් වැසියන්ට හානියක් සිදු නොවීමට ඊශ්‍රායලය සියලු දේ කරද්දී ඔවුන් අනතුරුදායක තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන්නේ හමාස් සංවිධානය විසින් බවයි.