අත් පා නොමැති කාන්තා මළ සිරුරක්

අත් පා නොමැති කාන්තා මළ සිරුරක්

November 15, 2023   07:20 am

වව්නියාව, තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, දේහය අවුරුදු 20 - 25ත් අතර බවට පොලීසිය සැක පළ කරයි.

මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇතැයි සිතිය හැකි අතර කොණ්ඩය තරමක් දිගට වවා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මුහුණ හඳුනාගත නොහැකි පරිදි විකෘති වී ඇති අතර රතු පැහැති ගවුමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් මළ සිරුර දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති අතර, මළ සිරුරේ අත් හා පාදයක් නොමැති බව නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

මළ සිරුර නරක්ව ඇති අතර, ශරීර කොටස් සතුන් ආහාරයට ගෙන ඇත්ද? නැතිනම් කපා දමා ඇතිද? යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී.

සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලීසිය පැවසීය.

මරණයට අදාළ කිසිදු තොරතුරක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මේ අතර, කුඹුක්ගැටේ පොලිස් වසමේ ජහපාගම ප්‍රදේශයේ කොස්දණ්ඩ ඇළේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට කුඹුක්ගැටේ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අවුරුදු 60ත් 65ත් අතර උස අඩි 5යි අඟල් 4ක් වන තළෙලු මහත සිරුරකි.

මුහුණ පුරා රැවුල වැවී ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.