ඊශ්‍රායලයෙන් ගාසාහි ප්‍රධාන රෝහල් වෙත බිහිසුණු ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් ගාසාහි ප්‍රධාන රෝහල් වෙත බිහිසුණු ප්‍රහාරයක්

November 12, 2023   06:13 pm

හමාස් සංවිධානයේ මූලස්ථාන බවට පවසමින් ඊශ්‍රායලය ගාසාහි ප්‍රධාන රෝහල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.

ඊශ්‍රායලයේ කෙටි සටන් විරාම අතරතුර රෝහල් තුළ සිටි පිරිස් ඉන් ඉවත්ව යමින් සිටින නමුත් රෝගීන් රැසක් එහි රැඳී සිටින්නේ තවත් ඛේදවාචකයක් සිදුවීමේ අවදානමක් ඇති කරමිනි.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට ඇතුළු වී පුද්ගලයින් 1,200 දෙනෙක් පිරිසක් ඝාතනය කර තවත් 200 දෙනෙකු පැහැර ගත්තේ පසුගිය ඔක්තෝබර් මස 7වැනිදාය.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ආරම්භ කළ ප්‍රහාර මේ වෙද්දී ගාසාහි ප්‍රධානම නගරය වන ගාසා සිටී දක්වාම පැමිණ ඇත්තේ එහි ගෙන් ගෙට සටන් ක්‍රියාත්මක කරමිනි.

ගෙවුණ දෙදින පුරා මේ ගැටුම් ක්‍රියාත්මක වූයේ උතුරු ගාසාහි කොටුවූ පලස්තීන වැසියන් රැකවරණය ලබන රෝහල් ආසන්නයේ ය.

ඊශ්‍රායල හමුදා සිය රෝහල් සෘජුව ඉලක්ක කරන බවට පලස්තීන අධිකාරිය ඊයේ චෝදනා කළේය.

එක්සත් ජාතීන් ද පවසන්නේ, ඊශ්‍රායලය මේ වනවිට උතුරු ගාසාහි රෝහල් සෘජුව ඉලක්ක කරමින් සිටින බවය.

එවන් ප්‍රහාරවලින් දැඩි සත්කාර ඒකකයේ රෝගියෙකු සහ නොමේරූ ළඳරුවන් දෙදෙනෙකු මියගිය බවද වාර්තා වෙයි. 

මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය රෝහල් වටකර මෙහෙයුම් ක්‍රියාත්මක කළත් ඒවා වෙත ප්‍රහාර එල්ල නොකළ බව පවසයි.

රෝහල් භූමියේ භූගත කඳවුරුවල රැඳී සිටින හමාස් සංවිධානය සිවිල් වැසියන් පලිහක් කරගෙන ඇතැයි ඊශ්‍රායල පෙන්වා දෙන්නේ රෝහල් ආසන්න මෙහෙයුම් සාධාරණීකරණය කරමිනි.

එමෙන්ම රෝහල්වල සිටින සිවිල් වැසියන් සහ රෝගීන් ඉන් ඉවත්කරවාගැනීමට තමන් සහාය දෙන බවත් ඊශ්‍රායලය පවසයි.

මෙවන් පසුබිමක රෝහල් හි රැඳී සිටින පලස්තීන වැසියන් ඉන් ඉවත්යාමට උත්සහ කරයි.

සුදු කොඩි රැගෙන ආ මේ පිරිසට ඊශ්‍රායල හමුදා වෙඩිතැබූ බවට පලස්තීනය චෝදනා කරයි.

ඊශ්‍රායලය පවසන්නේ එය හමාස් සංවිධානයේ ප්‍රහාරයක් බවය.

මේ අතර එහි විශාලතම රෝහල වන අල් ෂිෆා හි රැඳී සිටි සිවිල් වැසියන් සහ කාර්ය මණ්ඩලයෙන් බහුතරය ඉන් ඉවත්ව ගිය බව එහි වෛද්‍යවරයෙකු පවසා තිබේ.

එහෙත් එහි සිටි රෝගීන් 500 දෙනෙකු තවමත් එහි සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට එම රෝහල සමඟ පැවති සබඳතා සියල්ල බිඳ වැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය තහවුරු කිරීම විශේෂත්වයකි.

හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදා සමඟ සටන් වදින දර්ශන පෙළක් නිකුත් කර තිබුණා.

මේ අතර ගාසා හි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞදියේ රියාද් හිදී ඉස්ලාමීය අරාබි සමුළුවක් පැවැත්වෙයි.

එහිදී අදහස් දැක්වූ සෞදි විදෙස් අමාත්‍යවරයා ගාසාහි කඩිනම් සටන්විරාමයක අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම සිය ආරක්ෂාව වෙනුවෙන් ගාසා වෙත ප්‍රහාර එල්ලකරන බවට ඊශ්‍රායල දරන මතයද මෙහිදී දැඩිව විවේචනයට ලක්වීම විශේෂත්වයකි.

ගාසාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එහි සිටි සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන් තහවුරු කළේ මෙවන් පසුබිමකය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 11,000 ඉක්මවා මියගොස් ඇති අතර ඉන් 4,500ක්ම ළමයින්ය.