කෝලි ගැන කී කතාවට මෙන්ඩිස් කනගාටුව පළකරයි

කෝලි ගැන කී කතාවට මෙන්ඩිස් කනගාටුව පළකරයි

November 12, 2023   03:18 pm

ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ශතක 49ක් වාර්තා කළ අවස්ථාවේ මාධ්‍ය හමුවකදී ඔහු වෙත සුබපැතීම සිදුනොකිරීම පිළිබඳව තමන් කනගාටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසයි.

අද පැවති මාධ්‍ය හමුවේදී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එම සිදුවීම ගැන පැවසුවේ මෙවැන්නක්.

"මම එදා මුලින්ම එතැනට ගියේ පුහුණුවීමට. ගියාට පස්සේ ප්‍රෙස් එක තිබ්බා.  මට කලින් කියලා තිබුණා ප්‍රෙස් එක තියෙනවා කියලා. අපිට පහුවෙනිදා තියෙන්නේ බංග්ලාදේශ තරගය. ඉතින් මම එතැනට ගියාට පස්සේ දැනගෙන හිටියේ නෑ විරාත් කෝලි කොච්චර ලකුණු අරගෙන තියෙනවා ද කියලා. මැච් එකක් තියෙනවා කියල මම දන්නවා. එයා ලකුණු 100ක් ගත්තද කොච්චර ගත්තද කියලා මම දැනගෙන හිටියේ නෑ. එයා මගෙන් ඒ වෙලේ ඒ ප්‍රශ්නය අහද්දී මම මුලින්ම බැලුවා මොකක්ද මෙයා මේ අහන්නේ කියන එක. මොකද මම ගියේ මගේ කණ්ඩායම වෙනුවෙනුයි, බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙනුයි අහන ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න. ඒ වෙලාවේ ඇත්තටම මම ඒ කිව්වා එක වැරදියි කියලා මම හිතනවා මොකද ලකුණු 100 ඒවා 49ක් ගහනවා කියන එක ලේසි නෑ. ක්‍රීඩකයෙක් විදියට දන්නවා කොච්චර අමාරු දෙයක් ද කියලා. ඇත්තටම ඒ වෙලාවේ මට තේරුණේ නෑ එයා මොකක්ද අහන්නේ කියලා. ඒ ගැන කතාකරද්දී මට අහන්න ලැබුණා. සමහර අය මට ගොඩාක් බැනලා තිබුණා. පිතිකරුවෙක් විදියට මම ඒ ගැන කනගාටුවෙනවා. විරාත් කෝලි කියන්නේ ලෝකෙම දන්නවා හැමෝම දන්නවා කොච්චර හොඳ ප්ලේයර් කෙනෙක් ද කියලා. ඉතින් ඒ වෙලාවේ මම එයාට සුබපැතුවේ නැති එක ගැන කනගාටුවෙනවා."

"අපි තරග කිහිපයක් පැරදිලා තිබුණේ, ඉන්දියාවත් එක්ක ආසියානු කුසලානය පරාද වුණා. ලෝක කුසලානයත් අඩු ලකුණු ගානකට පැරදුණා. ඒ වෙලාවේ මටත් තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනවන එක. ඉන්දියන් ක්‍රීඩකයෝ අපි ගැන ගොඩක් පල්ලෙහාට දාලා කතාකරලා තිබුණා කලින් මැච්වල.  මම කැමති නෑ නායකයා විදියට මගේ කණ්ඩායම පල්ලෙහාට දාලා කතාකරනවාට. ඒ වෙලාවේ තිබුණ ඉමෝෂනල් එකට මම ඒ වෙලාවේ උත්තර දුන්නා. පස්සේ මට හිතුණා මම වැරදි දෙයක් කිව්වේ කියලා. මම ඒ ගැන ඇත්තටම කනගාටුවෙනවා."