විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව එළැඹෙන සතියේ සිට

October 11, 2024   03:36 pm

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ති‍බේ.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ  ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින් ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත්  ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.