අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැන විගණන වාර්තාවක් එළියට
November 9, 2023 07:43 am
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී පවතින නීතිරීති සහ රෙගුලාසීවලට අනුගතවීම අනිවාර්යය කළ යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වා දෙන්නේ, අදාළ ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන් වෙත සිදුකරනු ලබන බලපෑම් ඉවත් කිරීමට පියවර ගත යුතු බවය.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳ සිදුකළ විශේෂ විගණන වාර්තාවක් මඟින් ජාතික විගණන කාර්යායලය මේ බව පෙන්වා දී තිබේ.
2020 ජනවාරී මස පළමු වන දින සිට 2022 මැයි 31 වන දින දක්වා කාලය තුළ දී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව මෙම විගණන වාර්තාව සිදුකර ඇති බව වාර්තා වේ.
එහිදී අදාළ කාලසීමාව තුළ චක්‍රලේඛ මඟින් හඳුන්වා දී ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන ලද ලිපි උපයෝගී කරගෙන සිසුන් 2,237 දෙනෙකු පාසල්වලට ඇතුළත් කරගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
එම කාලය තුළ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව ලේකම්වරයා විසින් ලිපි 3,308ක ප්‍රමාණයෙන් 2,367ක් එනම් සියයට 72ක් රජයේ අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, පාර්ලිමේන්තුව ආදී විවිධ පුද්ගලයින් සහ ස්ථානවලින් කරන ලද ඉල්ලීම්, නිර්දේශ සහ නියෝග මත නිකුත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙයි.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛ සීමාවන් ඉක්මවා කටයුතු කිරීම මඟින් පාසල් රැසක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අපහසුතාවන්වලට ද ලක්ව ඇති බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
බොහෝ පාසල්වල අතිරික්ත සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගැනීමට මෙන්ම සුදුසුකම් ලත් සිසුන්ට පාසලට ඇතුළත් කරගැනීමට නොහැකි වූ අවස්ථා ද පවතින බව විගණන කාර්යාලය පෙන්වාදෙයි.
ඇතැම් ජාතික පාසල්වල විදුහල්පතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීමට අනුව සිසුන් පාසලට ඇතුළත් නොකළ අවස්ථාවන්වල දී සිදුවූ විවිධ බලපෑම් පිළිබඳව ද විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.