කොළඹ මාර්ගයකට තවත් ගසක් කඩා වැටෙයි - අයෙකුට තුවාල

කොළඹ මාර්ගයකට තවත් ගසක් කඩා වැටෙයි - අයෙකුට තුවාල

November 8, 2023   08:13 am

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ ආර්. ඒ. ඩිමෙල් මාවතේ තවත් ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මතට ඊයේ (07) පස්වරුවේ එම ගස කඩා වැටීම හේතුවෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.

පසුගිය ඔක්තොම්බර් මස 06 වනදා ද කොළඹ ආර්. ඒ. ඩිමෙල් මාවතේදී බස්රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔක්තොම්බර් 30 වැනිදා එම මාර්ගයේ තවත් ගසක් කඩා වැටීමෙන් වාහන තුනකට හානි සිදුවුණි.

මෙම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියගෙන් "අද දෙරණ" විමසීමකදී කළේය.

ඊයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ ගස් සහ අතු කඩා වැටීමේ සිද්දීන් 36ක් වර්තා වී ඇති බව ඇය එහිදී සඳහන් කළාය.

අවදානම් ගස් හඳුනාගැනීම සඳහා කොළඹ නගර සභාව සතුව යන්ත්‍රයක් පැවතියද එය භාවිත කිරීමට පුද්ගලයෙකු නොමැති බව "අද දෙරණ" කළ විමසීමකදී නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය තවදුරටත් පැවසුවාය.