බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි
March 7, 2025 06:56 am
දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි.
වයස අවුරුදු 42ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ බිරිඳ විසින් පසුගිය මස 14වනදා ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කරනු ලැබූ විමර්ශනයේදී මෙම මෘත ශරීරය හමුව තිබේ.
මෙම අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙම්ටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් සිටි බව පවසා තිබේ.
ඒ අනුව ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග එක්වී මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඉඩමේ හිමිකරු හා ඔහුට සහය දුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 38 හා 46 වයස්වල පසුවන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.