ආසියානු ශූරි තරුෂිට ජනපති ගෙන් පොරොන්දුවක්
November 5, 2023 09:01 pm
ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් තරුෂි කරුණාරත්න, ජනාධිපතිවරයා විසින් අද (05) මහනුවර ජනාධිපති මන්දිරයේදී ඇගයීමට ලක්කෙරිණි.
ඇගේ දක්ෂතා අගයමින් සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම සම්බන්ධයෙන් ඇයට ස්තුතිය පළ කළේය.
මෙරටට පත්වීම් ලද පැමිණි නව තානාපතිවරු වෙත තරුෂි හඳුන්වාදීමද ජනාධිපතිවරයා විසින් එහිදී සිදුකරනු ලැබිණි.
තරුෂි කරුණාරත්නගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩාවල නිරත වන සිසු සිසුවියන් 76 දෙනාටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබිණි.
මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා ඇත.
එහිදී ඔවුන් පවසා ඇත්තේ මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවයි.
අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළ එහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවද පවසා තිබේ.
එසේම ක්‍රීඩා පාසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක් වෙන්කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඇයද තරුෂි සමග සුහද කථාබහක නිරත විය.