උපරිම සිල්ලර මිල යටතේත් වැඩි මිලට විකිණෙන සීනි

උපරිම සිල්ලර මිල යටතේත් වැඩි මිලට විකිණෙන සීනි

November 4, 2023   01:34 pm

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ඊයේ (03) සිටම සීනි මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.

පෞද්ගලික වෙළෙඳසල්වල පමණක් නොව සතොස අලෙවිසල්වල ද සීනි මිල ඉහළ ගොස් තිබීම විමතියට කරුණකි.

මෙවන් පසුබිමක සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ රාත්‍රියේ පියවර ගත්තේය.

ඒ අනුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 275ක් විය යුතු බවයි.

ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

මේ අතර, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ලෙසත්, ඇසුරුම් කළ රතු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350ක් ලෙසත් මිල පාලනය කෙරිණි.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවුව ද එය නොතකමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක සීනි වැඩි මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.

ඇතැම් පාරිභෝගිකයන් පවසන්නේ, වැඩි මිලට හෝ මිල දී ගැනීමට වෙළඳපොළේ සීනි නොමැති බවයි.