ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය දරුවන් ගණන 3000කට ආසන්න වේ
October 27, 2023 05:04 pm
පලස්තීන ගාසා තීරයට ඊයේ (26) රාත්‍රීයේ දීත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ අතර, ඒ සඳහා ප්‍රහාරක යානා මෙන්ම ඩ්‍රෝන් යානා ද යොදා ගෙන ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ගොඩබිම් හමුදා විසින් ද ඊයේ (26) ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.
යුද ටැංකි පිරිවරා ගත් ඊශ්‍රායල සීමිත ගොඩබිම් මෙහෙයුම උතුරුදිග ගාසා තීරයේ බෙයිට්හනුන් නගරයේ මෙන්ම අල් - බෙරයිජ් සරණාගත කඳවුර ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.
ගාසා තීරයේ දකුණුදිග කාන් යුනිස් නගරයට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව පලස්තීන ප්‍රවෘත්ති සේවාවන් ප්‍රකාශ කර ඇත.
මේ අතර, මිසයිල ප්‍රහාරයක් දකුණු දිග ඊශ්‍රායලය තදාසන්නයේ පිහිටි ඊජිප්තුවේ ‘තාබා‘ සංචාරක නිකේතන නගරයට පතිත වී ඇති බව වාර්තා වේ.
එහි දී පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගාසා තීරයේ ජනාකීර්ණ ස්ථානවලට එල්ල වූ නවතම ප්‍රහාරවලින් පලස්තීනුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා පටන් මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ඉන් 3000කට ආසන්න පිරිසක් ළමුන් බව වාර්තා වේ.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන ජනතාව ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තුර්කිය බටහිර රටවලට චෝදනා කර ඇත.
තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් කියා සිටියේ, සියලුම බටහිර රටවල් කොන්දේසි විරහිත ව ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරයකට සහාය දෙන බවයි.
මානව හිමිකම් සහ නිදහස ගැන කඩදාසි මත පමණක් සටහන් කරන ඔවුන් පීඩිත ගාසා වැසියන් ගේ ජීවත් වීමේ අයිතිය නොසලකා හරිමින් සිටින බවත් ඔහු සඳහන් කර ඇත.
ඔවුන් ගේ අරමුණුවලට වාසිදායක නොවන්නේ නම්, ඔවුන් ගැටුම් පිළිබඳ අවධානය ලබානොදෙන්නේ, පීඩිතයන් මුස්ලිම් ජාතිකයන් වීම නිසාදැයි තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, මැදපෙරදිග ආරක්ෂක වාතාවරණයේ නව ප්‍රවණතාවක් ලෙසින් අමෙරිකා එක්සත් ජනපදය එහි සිය අවි සහ නාවික බලය ඉහළ නංවමින් ඇත.
විශේෂයෙන් සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වන ප්‍රහාර මැඩලීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය මැදපෙරදිග කලාපය වෙත සෙබළුන් 900 දෙනෙකු ගෙන් සමන්විත අතිරේක බලඇණියක් ද මේ වනවිට එහි යවා ඇති බව සඳහන්ය.
ඊශ්‍රායල - හමාස් සටන ආරම්භ වීමෙන් පසු අමෙරිකා එක්සත් ජනපදය විසින් ගුවන්යානා ප්‍රහාරක නෞකා දෙකක් ඇතුළු යුද නෞකා පෙළක් සහ ප්‍රහාරක ගුවන්යානා රැසක් මැදපෙරදිග කලාපයට යවා ඇත.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මහා පරිමාණ ගොඩබිම් මෙහෙයුම තවදුරටත් පමා කරද්දී පවත්වා ඇති නවතම මත සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, ඊශ්‍රායල වැසියන් ගේ 49%ක්ම මේ මොහොතේ ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමක් සිදු නොකළ යුතුය යන මතයේ සිටින බවයි.
මෙම මත සමීක්ෂණය පවත්වා තිබුණේ, ඊශ්‍රායලයේ මාරිව් නැමැති පුවත්පත විසිනි.
එහි දී ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මහා පරිමාණ ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ යුතු යන්න අනුමත කර ඇත්තේ 29%ක් පමණයි.
මේ අතර, ඊශ්‍රායල හමුදාවල ශක්තිය පිළිබඳ සටහනක් අල් ජසීරා රූපවාහිනිය මඟින් ඉදිරිපත් කර තිබිණි.
ලෝකයේ ප්‍රබලතම හමුදා බලයක් සහිත ඊශ්‍රායලයේ එම සන්නද්ධ හැකියාවක් පවත්වා ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ඩොලර් බිලියන 3.8ක පමණ යුද ආධාර සපයනු ලැබේ.
ඊශ්‍රායලයේ සක්‍රිය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 1,69,500ක් වන අතර, ස්වෙච්ඡා බල සේනාවේ සාමාජික සංඛ්‍යාව 4,65,000කි.
යුද ටැංකි 2200ක් සහ කාලතුවක්කු 530ක් සහිත ගොඩබිම් හමුදාවට අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියේ ආරක්ෂාව ද හිමි වේ.
හමාස් සංවිධානය සමග සටනේ දී රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත් අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය දායකත්වයක් දැක්වූ බව ප්‍රකට කරුණකි.
ඊශ්‍රායල ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන්යානා 339ක් ඇති අතර ඊට F-16 යානා 196ක්, F-15 යානා 83ක් සහ F-35 යානා 30ක් ඇතුළත්ය.
මීට අමතර ව ඊශ්‍රායල ගුවන් හමුදාව සතු ව හෙලිකොප්ටර් යානා 142ක් ඇති අතර, ඉන් 43ක් ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බව සඳහන්ය.
ඊශ්‍රායල නාවික හමුදාවට මුර සංචාර සහ ප්‍රහාරක යාත්‍රා 49ක් ඇති අතර, ඔවුන් සතු ව සබ්මැරීන යාත්‍රා 05ක් ද තිබේ.