සංජීව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ 

සංජීව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ 

February 21, 2025   04:43 pm

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබියදී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. 

ඊට අමතරව තවත් පිස්තෝල අවියක ඡායාරූපද එහි තිබියදි විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකාර කොස්පාතල්වරයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදි මේ වන විට අතුරුදන්ව සිටින සැකකාරියට අයත් බවට හඳුනාගෙන තිබූ දුරකථන අංකයන් එම පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථනයේ අන්තර්ගතව තිබූ බවත් දුරකථනය පරීක්ෂා කිරීමේදී ඡයාරූප ඇතුළත් ගැලරියේ ඇති ඡයාරූප මකා දමා ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය සමග සබඳතා පැවැත්වූ මීගමුව පොලීසියට අනුයුක්ත සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමේන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගැණිනි.

පසුගිය 19 වැනි දින පාතාල කල්ලි නායකයෙකු වූ ගෙන්මුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී නීතීඥවරයෙකුගේ වෙස් ගෙන පැමිණි අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

පසුව සැකකරු විසින් එම ගිනි අවිය එම ස්ථානයේ දමා පළාගොස් තිබුණි.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ අධිකරණ භූමිය තුළය ගිනි අවිය සඟවාගෙන පැමිණ ඇත්තේ ගිනි අවියේ ප්‍රමාණයට ඇතුළත පිටු කපා කුහරයක් සේ සකස් කරන ලද නීති පොතක් ආදාරයෙන් බවට හෙළිවිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මූලික විමර්ශන ආරම්භ කළ අතර වැඩබලන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා සිදුකරන බව අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කෙරිණි.

වෙඩික්කරු බව කියන මහරගම දඹහේන ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා කොමාන්ඩෝ සෙබලෙකු වන සමිඳු දිල්ශාන් පියුමංග කඳනආරච්චි නම් තැනැත්තෙකු එදිනම පැය 8කට පසු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.

සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව එම වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි මෙම අපරාධයට මීගමුව කටුවැල්ලේගමපාර ලිපිනයේ පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන කාන්තාව ගිනි අවිය රැගෙන ආ බව හෙළිව තිබුණි.

එමෙන්ම මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් රැසක් යොදා තිබේ.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි