බීඩි බද්ද අඩු කෙරේ

බීඩි බද්ද අඩු කෙරේ

October 25, 2023   11:59 am

බීඩි කොළ ආනයනයේ දී සිදුවන වංචා හේතුවෙන් රජයට අහිමි වූ බදු මුදල නිසි පරිදි ලබාගැනීම සඳහා බදු සංශෝධනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බීඩි කොළ ආනයනයේදී බීඩි කොළ කිලෝවක් සඳහා රුපියල් 5,000ක ඉහළ බද්දක් අයකිරීම හේතුවෙන් බීඩි කොළ ආනයනයෙන් 75%ක්ම සිදුවන්නේ අනියම් ක්‍රම මඟින් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් රුපියල් 5,000ක් වූ බීඩි කොළ ආනයන බද්ද කිලෝවට රුපියල් 250ක් දක්වා අඩුකිරීමටත් ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 2.00ක්වූ බදු මුදල බීඩියකට රුපියල් 3.50ක් දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

එමෙන්ම සුළු පරිමාණ වශයෙන් බීඩි නිෂ්පාදනය කරන පිරිස ලියාපදිංචි කොට ඉන් එම පිරිස යම් නියාමනයකට ලක්කර ඔවුන්ට යම් ආවරණයක් සැලසීමට රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම බීඩි කර්මාන්තය යනු දුම්වැටි කර්මාන්තයක්ම වන බැවින්, රජය කිසිවිටෙකත් එය ප්‍රචලිත කිරීමට කටයුතු නොකරන බවත් එම කර්මාන්තයේ යෙදී සිටින ලක්ෂ ගණනක් වූ පිරිසකගේ ජීවනෝපාය ආරක්ෂා කර දීමටත්, රජයට අහිමි වූ බදු මුදලක් අයකර ගැනීමටත් පමණක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.