දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

October 24, 2023   07:58 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඔක්තෝබර් 19වැනිදා රාත්‍රියේදී දකුණු මුහුදු තීරයේදී සිය භාරයට ගනු ලැබූ දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සහ ඒ සමග අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පිළිබඳව තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී බහුදින යාත්‍රාවේ ස්කිපර්වරයා පවසා ඇත්තේ ඩුබායිහී නාඳුනන දුරකතන අංකයක් ඔස්සේ කතා කළ අයෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු මුහුදෙන් රැගෙන ගොඩබිමට රැගෙන යන ලෙස තමාට දැනුම්දුන් බවය.

එසේ නොකරන්නේ නම් තමා සහ තම පවුලේ සාමාජිකයින් ඝාතනය කරන බවට මරණ තර්ජනය කළ බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව මීට සති දෙකකට පමණ පෙර මෙම මත්ද්‍රව්‍ය තොගය ස්කිපර්වරයා ඇතුළු කණ්ඩායම භාරගෙන ඇත්තේ ඉරාන ජාතිකයින් පිරිසකගෙනි.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු කවුරුන්ද යන්න ඔවුන් නොදන්නා බව ද එහිදී පවසා තිබේ.

පසුගිය 20 වැනිදා රුපියල් කෝටි හාරසියයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 212ක් සමග  සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද එහි සිටි ස්කිපර්වරයා පවසා තිබුණේ ද මොහු පැවසූ කරුණුම බව ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම සැකකරුවන් අනාවරණ කළ කරුණු ආරක්ෂක අංශ නොමග යැවීමට භාවිත කරන නවීන ක්‍රමයක් බවට ආරක්ෂක අංශ සැකකරයි.

නාවික හමුදාව පැවසුවේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ රුපියල් මිලියන 21,039.8ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, කේරළ ගංජා, දේශීය ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැසක් සොයා ගත් බවය.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 450කට අධික වටිනාකමින් යුත් හොරොයින් තොගයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණි.

දෙසතියක් තුළ නාවික හමුදාව සිදුකළ දෙවැනි විශාලම මත්ද්‍රව්‍ය වැටලීම මෙයයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඔක්තෝබර් 19වැනිදා රාත්‍රියේ විජයබාහු නොෟකාව යොදාගනිමින් දෙවුන්දර සිට දකුණු දෙසට කිලෝ මීටර් 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

ඒ රාජ්‍ය බුද්ධි සේවාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලබාදුන් බුද්ධි තොරතුරකට අනුවය.

එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කෙරුණු අතර එය පරීක්ෂා කිරීමේදී හෙරොයින් බවට සැකකෙරෙන උර 9ක් සොයාගෙන තිබේ.

ඒ අනුව නිලධාරීන් භාරයට ගැණුනු එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස්දෙනා අද උදෑසන කොළඹ වරාය වෙත රැගෙන ආවේය.

එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද පැමිණ සිටියේය.

උර 9ක් තුළ පාර්සල් 200ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 219 යි ග්‍රෑම් 634ක තොගයක් එහි තිබූ අතර එහි දළ වටිනාකම රුපියල් කෝටි 450කට අධිකය.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අවුරුදු 30ත් 48ත් අතර වයස්වල පසුවන කුඩාවැල්ල, තිස්සමහාරාම, කෝට්ටගොඩ සහ මාමඩල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව හා හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සිදුකෙරුණි.

නාවික හමුදාව මෙම සතිය තුළ ගැඹුරු මුහුදේ සිදුකළ දෙවැනි විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙයයි.